බල්ලෙකුගෙ හදවත

වල් බල්ලා.......

පාරේ සිටින බල්ලෙකුට
බොහෝ විට ජන වහරේ එන වචනයකි ඒ.
නමුත් ඒ වල්බල්ලා ම ප්‍රස්තුතය කරගනිමින්
යමෙකු හිතාගත නොහැකි ලෙස සමාජ,දේශපාලන,ආර්ථික පරිහානිය
වැනි දෑ කතා කරන්නේනම්
එය සුළු පටු වේද?

"බල්ලෙකුගේ හදවත" (Heart of a Dog)

වත්මනේ බොහෝ අය
සමාජවාදය හෝ ධනවාදය අර්ථ දක්වමින්
තම දේශපාලන මතය තහවුරු කිරීමට
දරණ අප්‍රසන්න තැත දැක ගත හැක.

තම පක්ෂ දේශපාලනයේ
පක්ෂ මතය තහවුරු කිරීම වස්
තම පක්ෂය දරණ ඕනෑම කුණුගොඩක්
නිවැරදි බව ඇගවීමට
කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරන
නිහීන තැත අප දැක ඇත.

බොහෝ විට සමාජවාදය ගැන සාකච්ඡාවේ ද
සමාජවාදය පූර්ණ දෙව්ලොවක් මවන්නා සේ
බොහෝ උන් ප්‍රලාප නගනා හැටි අප දැක ඇත.
(සමාජවාදයේ ගත යුතු හොඳ දෑ බොහෝ ය.)

එනමුදු එසේ මොරදෙන බොහෝ උන්
සමාජවාදී ප්‍රතිපත්ති ගැන මොරදෙන්නේ
ධනවාදයේ පහස ලබමින් හෝ ධනවාදයෙන් සියළු පහසුකම් ලබමින් ය.
එසේත් නැතිනම් ධනවාදී රටක සියළු සැප විදිමින්
මනෝරාජික සමාජවාදී තර්ක ලොවට හඬ ගා කියමින් ය.

ඒවා පිළිගන්නා සමහර මධ්‍යම පාන්තිකයා
නොදන්නා කමින් කඩේ යන්නේ
එවැනි උන් ධනවාදී රටවල සියළු සැප විදිනා බව හෝ
උන්ගේ දරුවන් ධනවාදී රටවල් හි අධ්‍යාපනය ලබනා බව හෝ නොදැනය.

එය හරියට පෝච්චි වැසිකිලියේ හොඳ කියමින්
කොමඩ් වැසිකිලියක් පාවිච්චි කරනා
ප්‍රතිපත්ති විරහිත උන් සේය.
පෝච්චි වැසිකිලිය පාවිච්චිය උරුමය වන බවත්,
එය ශරීර කෘත්‍යයට පහසු මෙන්ම
හොඳ ව්‍යායාමයක් ද ඉන් ලැබෙන බවටත්
තෙපර බාන උන් බොහෝ විට පාවිච්චි කරනේ
කොමඩ් වැසිකිලියක් ය.
මන්ද කටින් මොක කීවත් තම පහසුව හෝ අපහසුව දන්නේ
එය විදින එකා මිස බොරු පල්හෑලි දොඩවන උන් නොවේ.

ට්‍රම්ප්ට අම්ම අප්පා නැතිවෙන්න බනිමින්
කියුබාවට ආවඩන උන්ගෙන් බොහෝමයක්
ග්‍රීන් කාඩ් එකට සිහින මවනා බවත්
ඇමෙරිකානු වීසා පතකට කෙල හලන බවත්
එය ලබා ගත නොහැකි නිසා ට්‍රම්ප්ට හෝ බැණ වදිමින්
ජාත්‍යාලය පෙන්වීමට යත්න දරන බවත් නොරහසකි.

මෙහි සරල  සත්‍යයනම් ලොව බිහි වූ සියළු සමාජවාදී රටවල
බොහෝ දුරට ඒකාධිපති ස්වරූපයක් ගත් බවයි.
ලෙනින් අද හිටියත් බොහෝ අය ඇමෙරිකාවේ පදිංචියට පොරකනවා මිස
රුසියාවේ පදිංචියටනම් නොයන බව සත්‍යය නොවේ ද?

මාඕ ලා ගේ පාලන ක්‍රමයේ ද ලෙනින්ලාගේ පාලන ක්‍රමයේ ද
ගත යුතු හොඳ ලක්ෂණ තිබෙනා බව සත්‍යය යි.
එමෙන්ම එය දැඩි මුරණ්ඩු සහගත පාලනයකි.
පුරවැසියා නිතර පටි තද කරගෙන
ජීවත් විය යුතු ජීවන ක්‍රමයකි.

එය දිර්ඝකාලීනව රටකට යහපත් විය හැක.
(එසේ නොවිය ද හැක.)
නමුත් පුහුදත් ජනයා කැමති නිතර නිදහස් නිවහල් සාමය පිරි
යුරෝපය,ඇමෙරිකාව,ඕස්ට්‍රේලියාව වැනි
ධනවාදී රටක විසීමට බව මා කිව යුතු නොවේ.

අදටත් කියුබාවේ පවා පිදෙල්ගේ මරණයෙන් පසු
රාහුල්ට බලය යාම තුල ම පවුල් පාලනයක්,
ඒකාධිපති බවත් නොපෙනෙන්නේ හෝ නොපවසා සිටින්නේ කෙසේද?
(නමුදු කියුබාවේ ඉතා හොඳ ක්‍රමවේදයකට රට පාලනය වන අතර
ඉන් උගත යුතු පාඩම් ද බොහෝ ය.)

රුසියාවේ ලෙනින් පවා
(ලෙනින් ඉතා හොඳ පාලන ක්‍රමයක්
ගෙන ගිය ද විවේචන ඇත.)
බලය අතට පත් වන විට සාර් රජු පමණක් නොව
අවිහිංසක ඈන් කුමරියත්,
දරුවනුත් මරා දැමීම අනුමත කළ බව අප දනිමු.

එවන් සමයක එවන් රටක විශේෂයෙන් ම ස්ටාලින් වැනි
දැඩි ඒකාධිපති ස්වරූපයේ පාලනයක් ගෙන ගිය කලක
යම් කරුණු ප්‍රහසනයක් ලෙසත්
සමහර තැනක උපහාසාත්මකවත් බල්ලෙකුගේ මනසින්
සමාජවාදි පාලන ක්‍රමයේ අඩුපාඩු පෙන්වමින්,
විවේචනය කිරීම කෙතරම් අසීරු මෙන්ම අවදානම් කරුණක් ද?

සමාජවාදයේ ගුණ වයපු සහ
එහි දෝෂ අවම ලෙස දුටු ගොර්කිලා, පාලක ලෙනින්ලාගේ පැසසුමට පවා ලක්වෙමින් ප්‍රසිද්ධ වු බවත්
විප්ලවයේ කැඩපත ලෙස තෝල්ස්තෝයිලා,
ගරු නම්බු ලැබු හැටි අප දනිමු.

වරෙක ලෙනින්, ගොර්කිට
දෝෂාරෝපණය කළ අවස්ථා ද නැතුවා නොවේ.
(ලෙනින් - සමාජවාදය සහ ආගම,සමාජ,දේශපාලන,ආර්ථික මුලිකාංග යන පොතෙහි එසේ සටහනක් ඇත.)

නමුදු පාලකයාගේ වරද සැබෑ ලෙස ගෙන හැර පාමින්
තම ජීවිත අවදානම ද නොතකා
දක්ෂ ලෙස මනාව රුසියන් සාහිත්‍යය ද පෝෂණය කළ
කතුවරුන් බොහෝ ප්‍රමාණයක් ඉන්නට ඇත.
සමාජවාදයේ අනුහසින් කාලයේ වැලිතලාවෙන්
එවන් කතුවරුන් සදහට ම යටව යන්නට ඇත.

මිකායෙල් බුල්ගාකොව් (Mikhail Bulgakov)

එසේ කාලයේ වැලි තලාවට හෝ සමාජවාදයේ නාමයෙන් සිදු කළ
දැඩි ඒකාධිපති පාලනයට යට කළ නොහැකි වූ
විශිෂ්ට ලේඛකයෙක් වුව ද ඔහු මිය යන තෙක්ම
ඔහු අප්‍රසිද්ධ වුයේ ද ඉහත ඒකාධිපති ස්වරූප පාලනය නියායෙනි.

දේශපාලන භීෂණය හා මර්දනය
රාජ්‍යය ක්‍රමයේ අත්‍යාවශ්‍ය අංගයක් ලෙස පත්කරමින්
පාලන කළ ස්ටාලින්ගේ කාලයේ මෙතුමන්ගේ ලේඛන එළි නොදැක්වුණ
ද,

ස්ටාලින්ගේ අධිකාරවාදයෙන්  හා භීෂණයෙන් හිරි වැටි සිටි සමාජයට
නැවත සමාජවාදයේ මානවවාදී අන්තර්ගතය ගැනත්
දේශපාලනය සහ සදාචාරය ගැනත්
යම් විවෘත සම්භාෂණයකට මග පෑදෙන්නේ
ස්ටාර්ලින්ට පසුව බලයට පැමිණි කෘෂෙව්ගේ පාලන සමයේ දී ය.

"ඔවුන් දැනගත යුතුයි." ලෙස
මරණ මංචකයේ සිටිමින් පැවසූ මිකායෙල් ගේ ලේඛන,
සඟවා තිබූ ලාච්චුවලින් එළියට එන්නේ මේ සමයෙහි ය.

අවාසනාවට මිය ගිය පසුව හෝ
මේ වටිනා සාහිත්‍යය කෘති එළි දැක්වීමෙන්
ඔහුගේ සිහින සැබෑ වුවා පමණක් නොව,
ලොවට මනෝරාජික සමජවාදයේ හෙළුව කියා පෑමට ද සමත් විය.

කතුවරයා අති දක්ෂ ලෙස බල්ලෙකු ලෙස සිතීම ම
මෙම නවකතාවේ මා දකිනා සුවිශේෂී කරුණ වේ.

පුවත්පත් කතුවරයෙකු වුව ද
පශු වෛද්‍යවරයෙකුටත් එහා ගිය දැනුමකින්,
සුනඛ ශරීරය අධ්‍යයනය නොකර ම
මෙවන් කතාවක් ලිවීමට තබා හෝ
සිතීමටවත් පහසු නොවේ.

බල්ලෙකු ලෙසට නිර්ධනයන් හට සලකන උන් දෙසත්
ධනපතියන් ලෙස වර්ග කළ උන් දෙසත්
දකින කෝණය මැනවින් විදහා පාන කතුවරයා,
බල්ලා මිනිසෙකු ලෙස ලොව දකින සැටිත්
බල්ලා සමාජවාදයේ බිල්ලක් වන සැටිත්
නිර්ධන පංතිය තුලට රිංගීම තුලින් ෂාරුකොව්ට වන හානියත්
එතුලින් පිලිප් පිලිපොව්ගේ පවුලට වන හානියත් දක්වමින්
රටේ පෙරළිය ද මැනවින් කියා පෑමට කතුවරයා සමත්ව ඇත.

බලහත්කාරයෙන් නිවාස අයිතිය අහිමි කිරීම,
පිලිප් පිලිපොව්ගේ නිදහසට බාධා කිරීම් හා පීඩා කිරීම තුලින්
එකල ජනතාවට වන පීඩාව ද කතුවරයා මැනවින් කියා පායි.

සාමාන්‍යය ජනයා නිදහස ලෙස බන්ධනයට ම කැමති බවත්
නිදහස යන්නෙහි අරුත නොදන්නා බවත්
එහි වටිනාකම නොදන්නාකමින්
සදා නිවට වහලෙකු සේ බැඳී සිටීමට කැමති බව නොවේ ද
බල්ලා කරපටිය පැළඳු පසු උජාරුවෙන් ලෝකය දෙස බැලීම තුලින්
පාඨකයාට කියා පාන්නේ ?

"නිදහස කියන්නේ මොකක්ද? හිතළුවක්.
දුම් රොදක්.
මිරිඟුවක්.
ප්‍රබන්ධයක්.
කාලකණ්ණි ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ
උණසන්නිපාත හීනයක්..!"

මෙසේ බලු මනසින් සිතමින්
පාඨකයාට කතුවරයා කියා පෑමට උත්සහ දරන්නේ
එකල රුසියානු සාමාන්‍ය ජන මනස ද?

එකල රුසියානු ජනතාව
රැවටුණු බව ද මේ හඟවන්නේ?

කෙසේ වෙතත් අතිදක්ෂ ලෙස ලියා ඇති මෙම කතාන්තරය තුල
සමාජ,දේශපාලන,ආර්ථික මෙන්ම
සංස්කෘතික කතා බහක් ඇදි යයි.

ඒ සැමට ම වඩා වැදගත්
රුසියානු සාහිත්‍යයේ ප්‍රචලිත නොවූ පැතිකඩක්,
වෙනත් ලේඛකයන් නොදැක්ක හෝ
දැක නිහඬ වූ පැතිකඩක්
මෙම "බල්ලෙකුගේ හදවත" තුලින්
මිකායෙල් බුල්ගාකොව් කියා පෑමයි.

සදහටම නැතිවීමට බොහෝ සෙයින් ඉඩ තිබූ මෙම ලයවිලි
මෙතුමාගේ මරණයෙන් පසු මෙන්ම
ස්ටාලින්ගේ ද මරණයෙන් පසු හෝ
ලොවට හෙලි වුයේ පාඨකයාගේ මෙන්ම
දේශපාලනය ගැන පිපාසිතයන්ගේ වාසනාවට මෙනි.

සියුම් දේශපාලනික කතා බහක් වුව
මෙය ඉතා වටිනා ඉහළ කලා කෘතියකි.
රුසියන් සාහිත්‍යයට කැමති අකමැති සියල්ලන්ට
රස විඳිය හැකි මෙන්ම කියවිය යුතු ද වටිනා පොතකි.

බොහෝ හරසුන් පරිවර්තන මැද
ලාංකේය පාඨකයා අතට පත් වූ විශිෂ්ට ගනයේ පරිවර්තන කෘතියකි,
මේ "බල්ලෙකුගේ හදවත" නම් වු කෘතිය.

මෙහි භාෂා ශෛලය ද සිත් ගන්නා සුළු වේ.
ඒ මන බඳිනා භාෂා ශෛලයත්,
කෘතියේ රසයට හානියක් නොවන ලෙසත්
පරිවර්තනය කර ඇති ගාමිණි වියන්ගොඩ මහතාට ද
අප තුති පිදිය යුතුම ය.

ජය!

අරවින්ද රත්මල්ගම_______✍️

Comments

  1. 👌👌👌👌well done..

    ReplyDelete
  2. පොතෙන් ඔබ්බට සමාජ දේශපාලන වපසරියත් ඈදමින් ලියනා....ඔබේ ම වෙච්ච මේ විවරණ රටාව හරි අගෙයි.
    පොත ගැන විතරක් නෙවෙයි,
    සමාජ, දේශපාලන කරුණු කාරණා ගැන සොයන්නත් පෙළඹීමක් ඇති කරනවා.

    ඔබට ජය !

    ReplyDelete
    Replies
    1. ස්තුතියි...මේ දිරිගැන්වීමට...

      Delete
  3. නියමයි.නියම විග්‍රහයක්.සැබෑ සමාජවාදය වෙනුවෙන් දිවි පුදන්නෝ අද ලොව නැතිවාක් මෙන්ම ඉතිරිව සිටින සමාජවාදියෝ ද ධනපති සිහින දකින්නෝ වෙත්.

    ReplyDelete
  4. නියම විග්‍රහයක්. මේ පොතේ තියෙන දේශපාලනය තවදුරටත් පැහැදිලි කරලා ලිපියක් පල කල හැකිද

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

මතක මිය ඇදෙන සඳ

පිරිමි නිරුවත.