Posts

Showing posts from July, 2020

ප්‍රේම කිර්ති ද අල්විස්.

Image
ප්‍රේම කිර්ති ද අල්විස්. එදා ඒ කාලකණ්ණි  මූසල අඳුරු රාත්‍රියේ,කුඩා පෑන් විදුලි පන්දම් රැගෙන ආ හය දෙනා ප්‍රෙම් රැගෙන යන විට බොඳ වූ දෑසින් " බංචි පැය තුනයිනෙ" කියා තම දියණියගේ හිස අත ගාන විට ප්‍රේම්ට මොනවානම් හැඟෙන්නට ඇති ද..  අවසන් දින ප්‍රේමකීර්ති ද අල්විස් ගේ සාක්කුවේ තිබී හමු වු කොළ කැබැල්ලක... මෙරිනා ක්‍රිරිස්ටබල් කේ.සීබට් සිල්වා 349,අල්විස් වත්ත. හේකිත්ත හැදල වත්තල. පසෙක රූපවාහිනියේ දරුවෙක් චිත්‍රශිල්පය හදාරණ යන්න ද සටහන්ව තිබුණි. එපමණයි ඔහු ලියාගෙන තිබුණේ. කුමක් ද මේ...? මෙය හා ඔහුගේ මරණය අතර සම්බන්ධයක් තිබුණි ද...? අපි නොදනිමු. කෙසේ වෙතත් බොඳ වූ දෑසින් තම දියණියගේ හිස අත ගා ආදර බිරිඳ දෙස කෘතවේදීව හෙලූ බැලුමෙන් මේ  ආදරණීය පියා, ආදරණීය සැමියා තම ආදණීය පවුලෙන් නික්ම ගියා සේම මේ අසහය දක්ෂතා ඇති කලාකරුවා,මාධ්‍යවේදියා දැයෙන් ද නික්ම ගොස් තිබුණි. ඔව්... තම නිවසින් දරුවන්ගෙන් බිරිඳගෙන් නොව මුලු මහත් දැයෙන් ම කෘර ලෙස සමු ගන්වා තිබුණි. වෙඩි උණ්ඩයට, කොළ කැබැල්ලට,වචනයට ජන ජීවිතය උඩු යටිකුරු කළ ඒ පාදඩයන් ප්‍රේම්ව සහෘර්ද වූ අපෙන්, රටෙන් උඳුරා ගත්හ. ඒ ශාපයෙන් උන්ට ගැලවිය නොහැක. උලමන්

ළමා අපචාර

Image
😢 ළමා අපචාර... නිතර බණ අසන උදේ හවා පිරිත් දමන රටේ කලින් කලට ළමා අපචාර ගැන කතා බහක් නැතිනම් රැල්ලක් නැග විත් යළිත් එය කාලෙයේ වැලි තලාවෙන් වැසී යයි. ළමා අපචාර කෙසේ වෙතත් ලාංකීය ජන හදවත් සංවේගයෙන් දවාළු පළමු ළමා මිනී මැරුම සමන් කුමාර ඝාතනය ලෙස හැඳින්විය හැක. එකල කවි කොළ, සිංදු පවා ලියවුණු මෙම ඝාතනයත් ඝාතකයින්ට අත් වු ඉරණමත් වෙනම ලිපියක කතා කළ යුතු දිර්ඝ සාකච්ඡාවකි. ඉන්පසු දිගින් දිගට පියා දුවව, සීයා මිනිබිරියව වගේ ම ගුරුවරු ළමයින්ව අපචාරයට, දූෂනයට ලක් කළ හැටි අපට අසන්නට දකින්නට ලැබුණි. සේයා දියණියගේ ඝාතනය එහි කූටප්‍රාප්තිය ලෙස හැඳින්විය හැක. එයට සමාජය තුල යම් කතා බහක් මෙන්ම නීතිය පිළිබඳවත්, ළමා සහ කාන්තා කටයුතු අමාත්‍යංශයේ රාජකාරි පිළිබඳවත් යම් යම් ප්‍රකාශ නිකුත් වුව ද එය ද කාලයේ වැලි තලාවෙන් වැසී ගියේය. පුදුමයට කරුණක් නොමැත ප්‍රභාකරන් පවා පැවසුයේ සිංහලයාට ඕනෑම දෙයක් මතක ඇත්තේ සති දෙකක් පමණි යනුවෙනි.අනුන්ගේ කුණු රස බලන අනුන්ගේ කුණු ගොඩවල් ජීවිත කාලය පුරාවට මතක අප අවැසි දේ අමතක කරන්නේ සති දෙක ඉක්මවීමටත් පෙරය. ඉන්පසු පසුගිය සති කිහිපයේ ළමා අපචාර මෙන්ම අපචාර සිදු කොට පැන ගිය උන් ගැන ද පොලීස

අප්පච්චි ඇවිත්

Image

මුහුද මැද සිතිවිලි..

Image
සිඳු මැද සිතුවිලි...... ජර්මන් කෙල්ලකගේ දෑස්වන් ලා නිල් ව නොසැලෙන සයුරත්... ඉතාලි ළඳකගේ ඉඟවන් නැව් බදේ වැදී ඉපිලී යන රල පෙළත්... ප්‍රංශ යුවතියකගේ බඳ ඇඳී රටාවක වර්ණ කළඹන ඒ නිල් සුදුවන් දියවරත්... රල බඳේ වැදී අවසන මහ මුහුදට ම දියව යන සරෙහි ආසියාතික ගැහැනියකගේ විලාපයත්... එක්තැන්ව, සියළු රහස් සඟවාගනිමින්, බලන්නාගේ දෑස මෝහනය කරවන පැහැය, හැඩය, නිසල බව පෙන්වන ඈත දියඹ සහ සාගරය..., පිරිමින් රවටනා ඒ සොඳුරු ළඳක්, නිතැතින් මා මතකයේ ඇඳිනි. ගිලගත් නැව් ද සිඳු ලොව බොහෝ රස රහස් ද ඈ තම පතුලෙහි සඟවා ගනිමින් නිසලව හිදිමින් දෑස් නිලෙන් වශීකර,දනන් සිත් මෝහනය කරලීම, ප්‍රේමවන්තයෙකු රැවටූ රුදුරු ප්‍රේමවන්තියක මට සහි ගන්වයි. මහා නැව් ගිලගනිමින් දියවැල්, අගාධ රහස් සඟවා ගනිමින් පෙනුමින් මේ පියකරු දියඹට බියකරු බව දැන දැනත් මිනිසුන් පෙම් කරති. බොහෝ ප්‍රේමවන්තයින්ගේ ඉරණම ද මෙයට වෙනස් නොවන්නේ කෙසේද...? තමා ගිල්වා දමා තම ජීවිතය ම අගාධයට ඇද දමන බව දැනුන ද සමහර පෙම්වතුන් තම අහිමි ප්‍රේමය වෙනුවෙන් වැලපෙන්නේ ද,මේ දියඹට පෙම් බදින මිනිසුන් ලෙස නොවේ ද...? අරවින්ද රත්මල්ගම_____✍️ 22~7~20

එක ෆැන්ටසි ලොකෙක..

Image
එක ෆැන්ටසි ලෝකෙක..... ෆැන්ටසිය....මෙයට විවිධ ගැඹුරු අර්ථ දැක්වීම් ඇති වුවද සරලව සිහින ලෝකය ලෙස හැඳින්වීමේ වරදක් නැත. යමෙකු ෆැන්ටසි ලෝකෙක, සිහින ලොවක ජීවත් විය යුතු ද? ඔව්... ලොව බොහෝ සාර්ථක මිනිසුන් යම් ෆැන්ටසියක ජීවත් වී ඇත. මනෝවිද්‍යාත්මක ව වුව ද යමෙක් යම් සිහිනයක ජීවත් වීම තුල ඔහු හෝ ඇය එම සිහින ලොවේ ඉලක්ක කරා සැබෑවට ගමන් ගැනීමට නිසඟව ම පෙළඹෙනු ලබන අතර,තම සිහින නිතර නිතර දැකීම තුල එම සිහින තම යටි සිත තුල තැම්පත් වී එම ඉලක්කවලට ළංවීමට උත්තේජනයක් ලබා දෙන බව පවසයි. ලොව බොහෝ රටවල යමෙකු, යමක් නිතර නිතර මවා ගනිමින්, සිතමින් දිනක මේ දේ කරනවා යැයි සිහින දැකීම තුල ස්වභාව ධර්මයා එයට නිසඟව ම උදව් කරනු බවට පිළිගැනීමක් ඇති අතර එසේ සිහින දකිමින් නිතර තම සිහිනය තුල එය ළඟාකර ගැනීමට යත්න දරන්නා හට විශ්වීය ශක්තිය පවා එක් රොක් වී සහය වන බව මතය යි. එසේනම් අප සිහින දැකිය යුතු ම නොවේ ද...? මෙය බොහෝ විට බටහිර රටවල නිතැතින් සිදුවන දෙයකි.විශේෂයෙන් ම ප්‍රේමය වැනි කාරණා තුල බටහිර දී සිත් තැවුල් අවම ව එය විදීමටත්, අසියාතික රටවල එය විඳවීමටත් මෙම ෆැන්ටසිය මූලික කරුණක් ව ඇති බව ද දැක ගත හැක. යුර

නිදහස.

Image
නිදහස.... ලොව මානව වර්ගයා බිහිව ඇත්තේ ම සාමාජීය සත්වයෙකු ලෙස ය.බොහෝ අය තනිව ජීවත් වීම තනිකම විදීම වැනි සිත සනසා ගැනීමට යම් යම් දෑ පැවසුව ද කිසිවෙකුටත් තනිව දිවි ගෙවිය නොහැක. මිනිසෙකුට හෝ ගැහැනියකට සහකරුවෙකු සහකාරියෙකු අත්‍යාවශ්‍ය ලෙස ජීවත්වීමට අප පරිනාමය වි ඇතුතෙමු.එය ලිංගිකත්වය ම නොව.තම අදහස් බෙදා හදා ගැනීම, අනෙකාගෙ ප්‍රශ්නයකට සවන් දීම,කොටින්ම තමා තනි වි නැති බව අනෙකාට හැඟෙන ලෙස ජීවත් වීම වැනි කාරණා නිසා මනු සතා යුගල ලෙස ජීවත් වන බව පැවසිය හැකිය. උහුලා ගත නොහැකි තනිකම,විඳ දරා ගත නොහැකි පාළුව,දරාගත නොහැකි කාන්සිය,ලොව්තුරා ප්‍රේමනීය මිහිරියාවක දැවටි හදවත් පිරි මදින්නේ ද එවැනිම පාළුවක්,තනිකමක්,කාන්සියක් ඇති හදවතක් සමඟ බව හොඳින් නිරීක්ෂණය කළ හොත් අපට දැක ගත හැක. මෙලොව තනිව විදදරා ගත හැකි සොම්නසක් නැති වුව ද අප සමහරුන් තනිවි නිදහසක්, සතුටක් සෙවීමේ මිරිඟුවක පැටලෙන්නේ ද ඉහත සබදතාවල යම් ප්‍රථිපලයකින් ද විය හැකිය. මිනිසා සමාජ සත්වයෙකු බව මා කිව යුතු නොවේ.මිනිස් බව ඔප වැටෙන්නේ ද සමාජ ඇසුරින් වුව ද මිනිසුන් නොමිනිසුන් වන අවස්ථා ද සමාජ ඇසුර නිසා ම වන නිසා බවට ද උදාහරණ අනන්තවත් වේ. අ

අහම්බකාරක

Image
අහම්බයක් වූ අහම්බකාරකට අහම්බයෙන් සම්මානයක් හිමි වී ද...? අහම්බකාරක...., සාහිත්‍යය කෙසේ වෙතත් පොත සියුම්ව පරික්ෂා කළ විට ගැහැණිය තම වාසියට යහන්ගත වන බව නම් සියළු ප්‍රධාන චරිතවලින් මොනවට පැහැදිලි වේ. රැඩිකල් වාදි පිරිමින් හා කරට කර ගැටුණ රාධා පවා මුදලට ගොළු විජේ සාධාරනීය කරමින් ඔහු හා යහන්ගත වීම මත සමාජයේ ගැහැනුන් ආදරය යැයි පවසා වාසිය තකා පිරිමින් හා යහන්ගත වන බව ද වක්‍රව මින් කියා පාන්නේ...! ඉතින් එහි ඇති අහම්බයක් වේ ද...? ඒ කෙසේ වෙතත් මෙම පොත පුරා ගැහැනුන් මුදලට, වාසියට පිරිමියෙකු හා සංවාසයේ යෙදෙන බව හා වමට සියුම්ව පහර දීමට යොදා ගැනීම හැර වෙනත් ගැඹුරු අර්ථයක් නම් මට නොපෙනේ. කතාව පිච්ච මල්, ගොළුකම්, දක්ෂකම්, දේශපාලනික ජඩකම්  වැනි ලුණු ඇඹුලින් රස කර ඇති නිසා පාඨකයාට මෙහි ඉහත හරය නොවැටහුන ද සම්මාන දෙන විනිශ්චය මණ්ඩලයකට එය නොපෙනීයාම මා විශ්මිත කරවීය. අහම්බකාරය සම්මානනීය වූ කිනම් අහඹුවක් වේදැයි විමතිය අහම්බයක් නොවීම, මෙලෙස ඒ පිළිබඳ විමසුමට මා පෙළඹ විය. ලංකාවේ දැනට සිටින නවකතාකරුවන් අතරිනුත්, ආචාර්යවරුන් අතරිනුත් හොඳ නමක් දිනා සිටන මනා භාෂා දැනුමැති උගතෙකි ලියනගේ අමරකීර්ති

අක්සාන්‍යා

Image
හං හං හං...😂😂😂 ග්‍රිගොරි...., ග්‍රිගොරිට කඩේ යන අරවින්ද...😂😂😂 තොපේ නියෝජනය පිරිමි සංහතිය ම ද බොල...! නැත්නම් තොපේ ෆැන්ටසිය ද...? අරවින්දලා දන්න ආදරේ...😂 රෙද්ද...! උඹලට රෙද්ද ඉස්සුවම ඒක ආදරේ... නෑ...මට නිදහස සොයා යන්න මාර්ගය බං ඒ... මම කළේ ගණුදෙනුවක් බං... පිරිමි තොපි සිහින ලෝකවල තියලා, මම පස්සෙනුන් හිනා වුණ බව උඹල දන්නෑ බං... ලෝකෙ වටේ කරක් ගහපු ග්‍රිගොරිට තියා ඌට කඩේ යන අරවින්දයටවත් ඒක තෙරෙන්නෑ බං... ගේ ඇතුලේ හිරවෙලා, මගෙ මිනිහගෙ ලිංගික වහලියක් වෙලා, උගේ වැඩයි ගෙදර වැඩයි කරලා, නිදි ඇඳේ දි නරුම විදියට පියයුරු කඩා තලා පොඩි කරන, මගෙ ගැහැණු ආත්මයම නැති කරන මගෙ මිනිහා වෙච්ච ස්තෙපාන් අස්තකොව් නිසා මම පිරිමි සංහතියට ම වෛර කරනව බං... මට ඕනි ආදරයක් නෑ බොලං... මට ඕනි නිදහස...ඔව් නිදහස... ග්‍රිගොරි මට ඒ නිදහසට යන පාර විතරයි... ඒක නැති කළ ග්‍රිගොරිවත් අත්හැරිය මං... මගේ සැපතට ග්‍රිගොරි නැති කල, යෙව්ගිනි ලිස්ට්නිට්ස්කි එක්කත් බුදිය ගත්තා මං... උඹල හිතන්නේ ග්‍රිගොරිගෙ ප්‍රේමයට මම වහ වැටුණා කියල ද...? ග්‍රෝගොරි මාව ඇල්ලුව කියල ද ...? නෑ...තොපිට වැරදිලා බං...

ජූලි 7 යි.

Image
අද ජූලි 7 යි...! ලෝකයේ කෙසේ වෙතත් කාලගුණයට, සතෙකුගේ හඬ ගෑමට, වෙනත් එවන් දේ මත පලාපල බලමින් තම ජීවිතයේ දෛනික කටයුතු ද පසෙක ලන, ආඩම්බරයෙන් කාලකණ්ණිකම් විදහා දක්වන ජාතිය, අපි වෙමු. එසේනම් ජූලි 7 ගැන කුමන කතා ද? කැලැන්ඩර් මාසයේ ගුණාගුණ නොබලා සිටිත් ද? ලොව උසස් ම දර්ශනයක් හිමි බුද්ධ දර්ශනයේ ථේරවාදි බුදු දහම හිස් මුදුනින් පිළිගන්නා ජූජනීය රටකි මේ. නමුදු බුදුන් දේශනා කළ ඒ උතුම් දහම පසෙක ලා කොහේ හෝ නැති රාවනයෙක් අල්ලාගෙන නැතිනම් තම බඩගොස්තරය රැක ගැනීමට බයිලාකාරයෙක් රූපවාහිනියක් ඉදිරිපිට දෙසන බයිලාවකට දොහොත් මුදුනින් දී තම ධනය, ශුමය කාලය වැය කරන කාලකණ්ණි ජාතියක් බවට පත් වී හමාර ය. කෙසේ වෙතත් බොහෝ දෙනා මෙම ජූලි මාසය ගැන වැඩි උනන්දුවක් දක්වයි. බොහෝ දෙනෙකු එය අශුභ ලෙස ද සලකයි.එහිනම් දෝෂයකදු නොමැත. මන්ද ජාතියේ මහා ඛේදවාචයක, මහා මොළකරු වූ මිනිමරු ප්‍රභාකරන් උතුරේ පමණක් නොව දකුණේ ද ලේ හැලීමට යොදා ගත් මාසය යි මේ. නමුදු වැදගත් ම දෙයනම් එය නොවේ.මේ ජූලි මාසය මෙතරම්ම ජන හදවත් තුල රැව් පිළිරැව් දෙන ප්‍රධානත ම හේතුවක් ඇත. එනම් 83 ජූලි කලබලය යි.එහි ඇති කාලකණ්ණි ලැජ්ජා සහගත මිලේච්ඡත්වයේ වි

දොන් නදිය නිසලව ගලා බසි..

Image
හේයි..ග්‍රිගොරි පැන්ටලේව්..., උඹ කොසාකයෙක්.. මම ලාංකිකයෙක්.. උඹට ගෙදර පෙරු වොඩ්කා තිබුණා.. මට ඉතාලියේ පෙරපු බීර තිබුණා.. උඹ නිසල දොන් නදිය දෙස බලාන බිව්වා.. මම අනියේනි නදිය දෙස බලාන බිව්වා.. උඹට සැදල දැමු වෙලඹක් හිටියා.. ඔව්... මට පාලම උඩ එලන්න තුවායක් තිබුණා.. උඹ සූරියකාන්ත ඇටත්, ලුණු දැමු කැකිරිත්, තැම්බු කුකුලත් කෑවා.. මම රටකජුත්, රොටිත්, අල පෙතිත්, පීකුදුත් කෑවා.. උඹ ජීවත්වෙන්න යුද්ධ කළා.. මම ජීවත්වෙන්න රස්සා කළා.. උඹ යුද්ධය නිසා ගම අතහැරියා.. මම රස්සාව නිසා රට අතහැරියා.. උඹට වෙනත් මිනිහෙකුගේ ගෑනියක් වෙලත් අක්සින්‍යා පෙම් කළා.. ඈ උඹව නොරැවටුවා.. උඹ කතා කළ සැනින් සියල්ල අතහැර ස්වාමියා ද අතහැර නුඹ සමඟ පලා ආවා... ඒ අතින් පමණක් නුඹ හරි වාසනාවන්තයි ග්‍රිගොරි... උඹට හැමදේම නැති වෙලත් ප්‍රේමය අත්වුණා.. උඹයි මායි වෙනස් එකම තැන එතනයි බං.. උඹට ජය..! අනුන්ගේ සැපතට මම ඉරිසියා කරන්නෑ බං.. අන් සැපත සඳහා සියල්ල අත්හරින්නා මම බං.. හේයි ග්‍රිගොරි...., උඹ හරිම වාසනාවන්තයි බං. ඔව්...හැමදේම නැති වීත්.. ප්‍රේමය නුඹව අත්නොහැරි නිසා... උඹේ හදිසි කෝපය අක්සින්‍