මතක මිය ඇදෙන සඳ


 මතක මිය ඇදෙන සඳ....

   බැලූ බැල්මට දේශපාලනික කතාන්දරයක් ලෙස කෙනෙකුට ගිණිය හැක,එමෙන්ම කතෘ දෙමළෙකු නිසාම මෙය සිංහලයා, මරක්කලයා දෙවනි කොට දෙමළා ඉහළට ඔසවා තැබූ කතාන්දරයක් ලෙස ද ලාංකේය පාදඩ වහල් ජන මනස වෙළා ගනු නියතය.

    නැත....මෙය සිංහලයෙකුවත් නොලියු, තම්බියෙකුවත් නොසිතූ, සැබෑ මානව හිතවාදී දෙමළයෙකු ලියූ ලාංකේය සමාජයේ සැබෑ හෙළිකිරීමයි.

    පිටු හත්සියයක් ඉක්මවා දිවෙන කතාන්දරයක්, පිටුවකට ලඝුකළ හැකි ද ? යන පැනය මා තුළ පැන නැඟුණ ද, ලාංකේය ජනසමාජය මෙය කියවිය යුතුම වන නිසා පාඨක උත්තේජනය පිණිස මෙසේ සටහනක් තබන්නට සිත් විය.

    පරම්පරා තුනක් හරහා දිවෙන " මතක මිය දෙන සඳ" කෘතිය, පීඩිතයා පාගමින් ලියන පාදඩ ඉතිහාසකරුවාගේ නිරුවත කියා පාන කතාන්දරයක් ලෙස ද මෙය හැඳින්විම මා පැකිලෙන්නේ නැත.

    වත්මන් පරපුර තිස් අවුරුදු යුධය ගැන සිතා සිටින්නේ
1971 දී දෙමළ සිසුන් ඉලක්ක කර ගත් ප්‍රමිතිකරණ ප්‍රතිපත්තියේ ප්‍රතිඵලයක් ලෙස දෙමළ සිසුන් පිරිසක් සන්නද්ධ කණ්ඩායම් කරා යොමු වීමත්, 1975 ජූලි 27 ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා ඝාතනය කිරීමත්, 1983 ජූලි මස 23 දින හමුදා නිලධාරීන් 13 දෙනෙකු මරා දැමීමත් පාදඩ ජයවර්ධන ආණ්ඩුව මිනී මතින් තම බලය තහවුරු කර ගැනීමත් ලෙස වුවද රට නිදහස ලැබීමෙන් පසු වර්ගවාදයට බීජ දැමු බණ්ඩාරනායකලාගේ නිරුවත මතින් සැබෑ ඉතිහාසය දිව යෑම ගුජුබ්සාජනක ය.

   අද ඥානසාරලා, පාහර පාලකයාට බලය ලබාදීමට වද පෙදි වැනි මුස්ලිම් විරෝධි ප්‍රචණ්ඩත්වය හරහා රට පාස්කු ප්‍රහාරය දක්වා ඇද දැමුවේ කෙසේද ? එසේම එදා බණ්ඩාරනායක, චෙල්වනායගම් ගිවිසුම ඉරා දැමීමට බලකල පුජකයන් රට තිස් අවුරුදු යුධයකට ඇද දැමූ, නැතිනම්  හමස්පෙට්ටියට දමා වැසූ සැබෑ ඉතිහාසය හෙළිකිරීම මෙය නොවන්නේ ද ?

   නිදහස (මට අනුව ඊනියා නිදහසක් වුව එදා එය ජයග්‍රහණයකි.) වෙනුවෙන් ලාංකේය රේන්ද හිමි පාදඩයන්ගේ පුතුන්, පුරවැසි දෑස වසා බලය ලබා ගැනීමට බ්‍රිතාන්‍යයන් හා සටන් වැදුණ ද(සටන් වැදුන ලෙස පෙන්වීමක් පමනි.) කිසිදු ප්‍රතිලාභයක් නොමැති, නිදහස වෙනුවෙන් දිවිපිදු 'සුල්තාන්' වැනි මරක්කලයන් ගැන කිසිවෙකු කතා නොකරන අවධියක මෙය අනර්ඝ ඉතිහාස කියවීමක් නොවන්නේ ද ?

    එදා ගුණසිංහලා කම්කරු කරමතින් තම බලය පතුරවා, පිළිරූ වලට අදත් මල්මාලා දමාගනිමින් පුහු පෞඩත්වයෙන් පිටකොටුවේ නැඟීසිටිය ද කපුටන් තම වසුරු ගුණසිංහලාගේ හිසමත හෙළනුයේ අපට අමතක වුව තිරිසනුන් ඉතිහාසය මනාව දන්නා සේ ය.

    දෙමළ වේ#ගෙ පුතා යැයි ආඩම්බරයෙන් හඬගා දෙමළ හු%#ට කරන දේ බලාගන් යැයි වහසි බස් දොඩමින්, එදා පාදඩ සිංහල කැනහිලන් දූෂනය කළේ 'ලලී' ව නොව සිංහල, දෙමළ සහෝදරත්වයේ කන්‍යාභාවය බව පොත කියවන ඔබට පසක් වනු ඇත.

   තම බලය වෙනුවෙන් බණ්ඩාරනායකලා,ජයවර්ධනලා ආදරයෙන් එකට වෙළී සිටි සිංහල, දෙමළ, මුස්ලිම් සහෝදරත්වය මැද වෛරයේ ගිණි පුපුරු විසිකර තම බලය තරකර ගත් සැටි දකුණේ 'එස්.ඩබ්ලිව්' ලාත් උතුරේ 'පරා සිත්තප්ප' ලාත් ලක් පොළවට පොහොර වී දෙස් දෙවොල් තබනු ඇත.

    මැල්කම් කාදිනල්ලා අද පාස්කු ප්‍රහාරය ගැන වරින් වර විවිධ මත දරමින් ජන මනස විකෘති කරන්නේ කෙසේද මල්වතු අස්ගිරිලා තම වාසිය තකා දේශපාලන වහල්කම් කරන්නේ කෙසේද, සිංහල බෞද්ධයන් රැක ගැනීමට යැයි පවසා මුස්ලිම් කෝලාහල ඇති කර රටේ ජාතිවාදය අවුලා අද පාර්ලිමේන්තුවට යාමට ඥානසාරලා කෑ මොර දෙන්නේ කෙසේද,

    එසේම එදත් ජාතියේ නාමයෙන්, ආගමේ නාමයෙන් සිංහලයා ද දෙමළා ද මරක්කලයා ද දේශපාලකයන්ද,පුජකයන්ද ඇවිලූ සැටි ජාතිවාදි  ඊනියා ඉතිහාසකරුවන්, ඇණ ගසා වළ දමා ඇති මිනීපෙට්ටිය එවල හාරා ඇණ ගලවා සැබෑ ඉතිහාසය ජනතාවට හෙළි කිරීමට මඟ පෑදු අම්බලවානර් සිවානන්දන් නැමැති ඒ මානවහිතවාදි දෙමළාට අප සියලු ලාංකිකයන් ගෞරව පූරකව හිසනමා ආචාර කළ යුතුය.

    අවසන නිදහස, අයිතීන් වෙනුවෙන් නැඟී සිටි උතුරේ තරුණයන්ට ද තමා නැඟී සිටි මූලික කාරණා අමතකව,  සියලු සිංහලුන්, පාහරයන් ලෙස මනස විකෘති කරමින් වෛරී ස්භාවයෙන් අවි අතට ගැනීමට ප්‍රභාකරන්ලාට අවස්ථාව සැලසූ දෙමළ අවස්ථාවාදි දේශපාලකයන් ද තම අරමුණ අමතකව, අහිංසකයන් පවා මරා දැමීමට නොපැකිලි වන 'රවි' හරහා ඔබට මුණගැසෙනු ඇත.

   මෙහි සුවිශේෂත්වය අම්බලවානර් සිවානන්දන් පොතේ සියලු කතාන්දර පාඨකයාගේ ප්‍රඥාව ඉහළ නංවන අයුරින් ගලායාමට සැලැස්වීමයි.

    බොහෝ විට කතාකරුවෙකු සිංහලයෙකුනම් සිංහල ජන මනසත්, දෙමළයෙකුනම් දෙමළ ජනමනසත් පමණක් සිතමින් තම ජාතියට බරව ලියනා සැටි අප දැක ඇත්තෙමු.

    නමුදු සිවානන්දන් නම් වු ඔහු විශිෂ්ටවන්නේ ජ.වි.පෙ. තරුණ නැඟී සිටීම ද කියා පාමින් උතුරේ මෙන්ම දකුණේ තරුණ්‍යය ද දේශපාලන බලාධිකාරය විසින් තලා පොඩිකර පීඩාවට පත් කර ඇති බව ඇති සැටියෙන් දැකීම නිසාවෙනි.

    පොතේ මුල සිට අගටත් සියලු චරිතත් සියලු කතාන්දරත් හරහා පාඨක ප්‍රඥාව වඩවමින්  නවකතාව තුළින් දේශපාලනික පමණක් නොව ප්‍රේම කතා ද සියුම්ව ගෙනහැරපාන්නේ කියවන්නා අමන්දානන්දයට පත් කරමිනි.

    සුදු රෙදි මත ලේ පැල්ලම් හොයන තාරුණ්‍යයට කනේ පහරක් එල්ල කරන ලේඛකයා, සාම්ප්‍රධායික දෑවැදි ක්‍රමය සියුම්ව හෙළා දකිමින් කියවන්නාට වෙනත් ම පරාසයක් සිතීමට ද බල කරනු ලබයි.

     ප්‍රේමය වූ කලි සියල්ල තමාට ම නොව එය පරිත්‍යාගයක් බවත් ප්‍රේමය වූ කලි තමා සතුටු වීම ම නොව අනෙකාගේ යහපත බවත් එස්.ඩබ්ලිව්ගේ ප්‍රේමය හරහාත්, සහදේවන් සහ විජේලාගේ' ප්‍රේම කතා හරහාත් කියා පායි.

    ලලී සහ දේවන්ගේ බිරිඳත්, 'මීනා' හරහාත් සදාකාලික ගැහැනියගේ පීඩනයත්, පුරුෂාධිපත්‍යය නම් වු ඉන්දීය බ්‍රහ්මණ ජඩ ගතිය මත සදා ගැහැනුන් අසරණවන්නා වු ක්‍රමයත් ඒ සියලු පීඩා මැද තම සැමියාට, ප්‍රේමවන්තයාට කිසිදු ප්‍රතිලාභයක් නොමැතිව පරිත්‍යාගය පමණක් ම පෙරදැඩිකරගත් ප්‍රේමය හරහාත් සුවිසල් කතාන්දරයක් කියා නොපාන්නේ ද...?

     එසේම එම ගැහැනිය ම උන්නතිකාමය, තණ්හාව බදාගැනීම, කෘරත්වය, මමත්වය වැනි කරණා ඇති ගැහැනියක් බවත් තම ලාභය ම සොයනා බවත් 'මානෙල්' මෙන්ම 'ලෝනා මුන්'ලා හරහා කියා පෑමට ලේඛකයා සමත්ව ඇත.

    ප්‍රේමය,රාගය,වෛරය,සමානාත්වතාවය,සහයෝගිතාවය,බෙදා වෙන්කිරීම,අරගල,ගැටුම්,වෘත්තීය සමිති,බලය,කම්පනය,සැසදීම,යටත් විජිතවාදි අනර්ථකාරී බලපෑම,මානුෂිකත්වය,කෘරත්වය,මේ කුමන කෝණයකින් බැලූව ද ඉතා ඉහළ තලයක තැබිය හැකි මෙම නවකතාව එතෙක් මෙතෙක් මා කියවු ලාංකේය නවකතා අතර ඉහළ ස්ථානයක රැදුණු බවනම් කිව යුතු ම ය.

    මෙය නවකතාවක් නොව ලාංකේය සිංහල, දෙමළ, මුස්ලිම් සැමගේ ඇට මස් නහරවල සැබෑ කතාවයි. පාහර පාදඩ දේශපාලකයා තම බලය වෙනුවෙන් වසා දැමු ජාතික සමගියේ සැබෑ කතාවයි.

   මෙය පොත් නොකියවන්නෙකු වුව කියවිය යුතු පොතකි. මන්ද කියවන්නාට පොතේ සමහර ඉඟි හරහා තව තවත් ඉතිහාසය හාරා ඇවිස්සීමට බලකරනා අත් පොතක් වන නිසාවෙනි.

    දෙමව්පියන් තම දරුවන්ට මෙය ලබා දිය යුතුමැයි. එය ඔබේ ජාතික යුතුකමයි. අනාගතයේ දේශපාලකයන්, පූජකයන් ඔබේ දරුවාගේ දෑස් බැඳ, ජාතිවාදි ගිණිපුපුරු වගුරා එකිනෙකා මරා ඇණ කොටා ගැනීම වලකාලීමට රටේ සැබෑ ඉතිහාසය කියවා සියලු ජාතීන්ට ප්‍රේම කිරීමට ඉගැන්වීමට ඔබට මේ පොත පරිශීලනය කිරීමට දීම පමණකින් ම කළ හැක.

    ලාංකේය තාරුණ්‍යයට තම ප්‍රේම කතාන්දරයේ වෙනස් ම පැතිකඩක් සිතා බැලීමට බලකරනු ලබන අත්පොතකි. යෝජිත විවාහ ක්‍රම දැවැදි ක්‍රමය ගැන ද සිතා බැලීමට වැඩිහිටි ඔබට ද වැදගත් අත් පොතකි.

    එසේනම් කියවන විට දැඩි කම්පනයක් ඇති වුව ද බාල තරුණ මහලු සියල්ලන් දෙතුන්වර කියවා හැදෑරිය යුතු ඉතා සුවිශේෂී අග්‍රගණ්‍ය නවකතාවක් බව කිව යුතු ම ය.

   නැතිනම් එදා බණ්ඩාරනායක රජ කරවීමට දෙමළාට කෙනහිලිකම් කොට යුධයකට බීජ වැපිරුවේ කෙසේද ?
සිරිමාවෝලා ඊනියා වමේ නාමයෙන් වමේ ම උන් මරා දැමුවේ කෙසේද ?
වමක් නොමැති යැයි පවසා වමක් සාදා තරුණ්‍යය වල්මත් කොට හැට දාහක ජීවිත නැති කිරීමට විජේවීරලා බිහි වුයේ කෙසේද ?
දෙමළ අසාධාරණයට නැඟී සිටිමු යැයි පවසා වසර තිහක කුරුරු යුධයක් රට හිමිකරදුන් ප්‍රභාකරන්ලා බිහි වුයේ කෙසේද ?
තම බලය තහවුරු කරගනු පිණිස ජූලි කලබල ඇති කොට ප්‍රභාකරන්ගේ යුද්ධය වඩා පෝෂණය කිරීමට ජයවර්ධනලා සහය දුන්නේ කෙසේද ?
ත්‍රස්තවාදයට උඩගෙඩි දෙමින් ආයුධ කන්ටේනර් ගනනින් ලබා දි නැගෙන හිර නිරායුධ පොලිස් නිලධාරින් 600 ක් දනගස්සවා මරා දැමිමට ත්‍රස්තයන් හට සහය දි තම බලය රැක ගැනිමට ප්‍රේමදාසයන් ක්‍රියාකලේ කෙසේද?
රාජපක්ෂයන් රජවීමට පාස්කු ප්‍රහාරය බලපෑවේ කෙසේද ?

    එසේම අනාගත බේබිලා රජවීමට ජාතිවාදී ගැටුම් ඇති කරවීම අපට නවතාලිය නොහැකි වනු ඇත.

    හෂිත අබේවර්දනයන් ගැන ද යමක් ලිය යුතු ම ය. සරල, සුමට, සියලු තලයන්හි පාඨකයාට උකහාගත හැකි භාෂා ශෛලයකින් තම ප්‍රතිරචනය කිරීමට ඔහු සමත්ව ඇත. 

    අප ඔහුට හෝ අද ජීවතුන් අතර නොමැති වුව අම්බලවානර් සිවානන්දයන්ට තුති පුද නොකරමු. මන්ද එය ඔවුන් හට විශේෂයෙන් ම කතුවරයාට කරනු ලබන අපහාසය කියැයි මා සිතනා නිසාවෙනි.

    එහෙත් අප අම්බලවානර් සිවානන්දයන්ට අපගේ ගෞරව ආචාරය පුද කරමු. මන්ද නවකතාවක් හරහා තම ජාතික (මෙහි ජාතික යනු මනුෂ්‍ය ජාතිය) වගකීම ඉටු කර ඇති නිසාවෙනි.

   එමෙන්ම තම ජාතික වගකීම හෂිත අබේවර්දන ද ඉටුකර ඇත්තේ අම්බලවානර් සිවානන්දයන්ට හෝ මෙම පොතට පූර්ණ සාධාරණය ඉටුකරමින් ලාංකේය දෑස් විවර කිරීමට අත ගැසු නිසාමැයි. එනිසා ඔහුට ද අපේ ගෞරව ආචාරය මෙසේ පුද කරමු.

    "අන් අය අප වෙත තැබු විශ්වාසයට දෝහිවීමෙන් සුව වීමට අපට හැකි වනු ඇති බවත්,ස්වයං ද්‍රෝහිභාවයේ තුවාල මතින් අප මිය යන තෙක් ලේ ගලා යනු ඇති බවත්" මතු පරපුරට කියා දිය යුතු ම ය. එයට මෙය කදිම අත් පොතක් නොවන්නේ ඇයි ?

   ඇත්ත කියන්නේ තමන්ගේ ම ඇතුළෙන් විශ්වාස කරන, ඇත්ත ගැන තියන විශ්වාසය නෙමෙයි නම් අහවල් එකක් ද ?

ජය!
අරවින්ද රත්මල්ගම_____✍️
23/06/21

📖️ මතක මිය ඇදෙන සඳ
When memory dies
අම්බලවානර් සිවානන්දන්
ප්‍රතිරචනය: හෂිත අබේවර්දන

Comments

  1. Book must be good but your writing is third class, you could have used bit more civilise words to detail the book. At the end you are also part of the same society you find fault with.

    ReplyDelete
  2. මේ වන විටත් ඔබගේ බ්ලොගය අප අපගේ සින්ඩියට ඇතුලත් කොට හමාරය. එය "3. බ්ලොග් සඟරා" කොලමයේ දක්වා ඇත! අපට අවශ්‍ය වන්නේ බ්ලොග් ස්වර්ණමය යුගයක් යලිත් ඇතිකිරීමටය. ඒ සඳහා ඔබගේ සහයෝගයද අප නිරන්තරයෙන් බලා පොරොත්තු වෙමු. අප පිළිබඳව හැකි උපරිම ප්‍රචාරණයක් ලබා දෙන්න!

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

පිරිමි නිරුවත.

බල්ලෙකුගෙ හදවත