The Mother - Maksim Gorki

අම්මා.....

මා සිතනා හැටියට ලොව වැඩියෙන් ම භාවිතා වන වදනයි.වදනක් පමණක් නොව ලොව සියලු සත්වයන්ගේ හදවත හා බැඳුනු තම අධ්‍යාත්මය හා වෙළී ඇති යමෙක් ඇද්ද ඒ අම්මා නොවේ ද...?

රුසියාව...

කැරලි, විප්ලව, සමාජ වාදය මෙන්ම සාහිත්‍යය යන්න කතා කිරීමේ දී කතා කළ යුතුම රටකි.

මක්සිම් ගොර්කි.. 

රුසියානු සාහිත්‍යය විප්ලවය ගැන කතා කිරීමේ දී කතා නොකරම බැරි සාහිත්‍යයධරයෙකි.

මේ තෙවැදුරුම එක්වු තැන ස්වර්ග රාජ්‍යයක් මැවීම අරුමයක් ද? නමුදු මෙය එක් හුයකින් ගැට ගසා ඒ ප්‍රාතිහාර්‍ය්ය සෑම අයෙකුට ම කළ නොහැකි වුව ද රුසියන් සාහිත්‍යයේ අග්‍රගණ්‍ය සාහිත්‍යයවේදියා, ඒ අම්මා නම් දැවැන්ත නවකාතව තුළින් ලොව සාහිත්‍යය ලොකයේ ස්වර්ග රාජ්‍යය මවා පෑ යේය. 

වර්ෂයෙන් 1918 යනු සමාජ වාදයට, විප්ලවයට මෙන්ම රුසියාවට වැදගත් ම සිදු වීම වූ රුසියන් විප්ලවය සිදු වූ වසරයි.

නමුදු මෙම විප්ලවය දවසින් දෙකෙන් සිදු වුවක් නොවන බව අපි දනිමු. මෙය 17 වැනි ශත වර්ෂයේ අගභාගයේ සිට ක්‍රියාත්මක වු ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ලෙස ගැනිය හැක.

එයට පොතින් පතින් පත්‍රයෙන් නවකතාවෙන් කොටින් ම ලේඛනයෙන් වූ මෙහෙයට හොඳම උදාහරණය තොල්ස්තොයි 'විප්ලවයේ කැඩපත' ලෙස ලෙනින් විසින් ම හඳුන්වා දිම දැක්විය හැක.

ගෝර්කි ද එම විප්ලවයේ ලේඛන කලාවට මුලික වු ශ්‍රේෂ්ඨ සාහිත්‍යධරයෙකි.

එතුමන් විසින් විප්ලවය පාදක කරගනිමින් නොයෙක් පොත පත ලියා ඇත.

නමුදු විප්ලවයට හරියට ම වසර12 කට පෙර රුසියාවේ කම්මල්කරුවන් විසින් සිදු කළ කැරැල්ලක් පාදක කර ගනිමින් එම වසරේ ම ඇමරිකාව බලා ගමන් ගත් ගොර්කි විසින් ඒ ගමන අතර තුර ලියු නවකතාවකි.

එමෙන්ම මෙය විප්ලවයේ අත්පොතක් ලෙස හැඳින් වුව ද වරදක් නැත.

මෙම කතාව මවක් මුල් කරගනිමින් ලියා පල වුව ද මාතෘ ප්‍රේමය, කාන්තාවගේ පීඩිත භාවය, ප්‍රේමය, තරුණ ජවය, එකමුතු බවේ සවිය, විප්ලවයට අවශ්‍ය නැතිනම් සැපිරිය යුතු සියලු කාරණා ද ඇතුලත් වේ.

කතාව 1906 ලියා පල වුව ද මෙය කියවන මා හට දැනුන හැඟුන කරුනනම් එදා 1906 රුසියාවේ විසු නිලව්නා නම් අම්මලා අද ද ලංකාවේ තවමත් වෙසෙන බවයි.

එදා නිලව්නා ලා අද ද ලංකාවේ තම දෙමව්පියන් යටතේ දැඩි නීති මත වැඩෙමින්, දෙමාපිය කැමැත්තට විවහ පත් ව සිය ස්වාමියාගෙන් ගුටි බැට කමින් වුව තම පවුලේ නම්බුව වැනි සමාජ උවමනා සහ කාරණා නිසා විඳවන ගැහැනුන් කොපමණ ද..?

වෙනසනම් අප අම්මා තම පවුල දරුවන් වෙනුවෙන් ම තම කාලය ශ්‍රමය වැය කර නිහඩව ම මිය යාමයි.

නමුදු නිලව්නා ප්‍රථමයෙන් තම සැමියාගෙ ගුටි බැට ද පසුව සැමියා මිය ගිය පසු පවුලේ බර ද ඉන් පසු තම විප්ලවීය පුතාගේ දේශන යනාදියට ඇහුම්කන් දීමෙන් මුළුමහත් සමාජය ම දුකින් පීඩනයෙන් පෙලෙන බව වටහා ගනිමින් තම ජීවිතය, පීඩිතයන් වෙනුවෙන් කැපකිරීම කෙතරම් අපුර්ව ද?

අවසන ඇයට බෙරි පලා යාමට හැකිව තිබියදීත් එසේ නොකොට,
"සහෝදර සහෝදරයිනි,තමුන්නාන්සේලාගේ ශක්තිය එක් බලවේගයකට කැටි කරගන්න.ඔබව යට කරන්නට හදන බලවතුන්ට යටවන්නට එපා.සත්‍යය සොයා ගන්න"
ලෙස මුලු මහත් ජනතාව ම කුළු ගන්වන ලෙස ගිඟුම් ලෑවේ සියල්ලන් පුදුමයට පත් කරමිනි.

ගම් නියම්ගම් ඇවිදිමින් පොත් පත්‍ බෙදා දෙමින් විප්ලවවාදී තම පුතාටත් වඩා විපුලවය සවිබල ගැන් වු අයුරු විශ්මිත නොවේ ද..?

ඒ විප්ලව වාදී මව තුළ ආදරය දයාව කරුණාව තම පුතුට නොව මුළු මහත් සමාජයට ම බෙදු අයුරු විශ්මිත නොවේ ද...?

ආත්මාර්ථය කුහකත්වය පරපීඩිකත්වය රජයන අදවන් ලොවක එවන් අති උත්තම චරිත අපට උවමනා නොවේ ද...?

කාන්තාවට කළ නොහැක්කේ මොනවාද...? 
මහපොළව මෙන් දුක් උහුලන කාන්තාවට පිරිමින් දස දෙනෙකුගේ වේදනාවන් දුක් කන්දරාවන් උහුලමින් අන් අය වෙනුවෙන් ජීවත් විය හැකි බව තව තවත් ඇය අපට හඬගා කියා පායි.

එමෙන්ම මෙම කතාවේ තරුණ එකමුතුව පාවා නොදිම කෙතරම් ද...?
ඒ තරුණයන්ගෙ දෙමව්පියන්ගේ හදවත් වල අදෝනාව එදා අප රටේ  88/89 කල තරුණයන් සිටි දෙමව්පියන්ට දැනුන හැඟිම ම නොවේ ද...?

එදා ජීප් හඬට බුට් සපත්තු හඬට බල්ලන්ගේ උඩු බිරුම් හඬට අප දෙමව්පියන් තිගැස්සුන ලෙස ම මේ දෙමව්පියන් ද සාර් රජුගේ දඩ බල්ලන්ගේ ශබ්දයන්ට තිගැස්සුන හැටි සම නොවෙද...?

එදා රයිබින්ට පොලිස් දඩ බල්ලන් වටකරන් දත් කැඩෙන්නට පහර පිට පහර ගැසූව ද නිර්භීතව වැටි වැටි නැගිටිමින් ගොවි ජනතාවගේ විමුක්තිය වෙනුවෙන් හඬ නැඟුවා මිස පාවා දුන්නේ නැත.

එලෙසම එදා 88/89 වක වානුවේ අප සහෝදරයන් එල්ලා පහර දෙද් දී, නියපොතු ගලවද් දී, ගුද මාර්ගවලට කටු කම්බි බස්සද් දී, පවා දෙනවා වෙනුවට අප මේ සටන් කරනුයේ අප වෙනුවන් නොව අනාගත පරපුර වෙනුවන් යැයි හඬ නඟා කීම නවකතාවක් නොව සත්‍ය සිදුවීමක් බව මතකයට නැඟෙන අප හද කිලිපොළා යන්නේ නිතැතිනි.

මෙම නවකතාවත්, ලංකාවේ ජ.වි.ප. ය විසින් සිදු කළ කැරලි දෙකත් එකිනෙකට සමානකම් ඇතිව ගලා යනනේ යැයි කිවහොත්, ඒ ගැන අවබෝධයක් ඇති බොහෝ අය මා සමඟ එකඟ වනු නිසැකය.

විප්ලවයේ නඩු තීන්දුව ද, එහි විත්කරුරුවන්ගේ සාක්ෂි ද, නීතිඥයන්ගේ කතා ද ගත් කළ එදා 71 කැරැල්ලේ මහ නඩුව හා සැසෙදෙන හැටි මතකයට නැඟෙද් දී හද කිලිපොළා යයි.

එදා පවෙල්ගෙ කතාව විජේවීරයන්ගේ කතාවටත් අනෙකුත් විත්තිකරුවන්ගෙ කතා ද යම්තාක් දුරට සමාන පමණක් නොව,

එදා පවෙල්ලා වෙනුවෙන් කතා කළ නීතිඥ මහතාගේ කතාව,

මහ නඩුවේ විත්තිකරුවන් වෙනුවෙන් කතා කළ බලා තම්පො මහතාගේ දේශනයට යම්තාක් දුරකට සමාන දොයි 71 නඩු තීන්දුව කියවා අති අප හට නිතැතින් සිහියට නැඟේ.

මෙහි  වෙනසනම් මෙම නඩු තීන්දුවට ප්‍රථමත් අවසනත් පවෙල් ඇතුලු සියලු විත්තිකරුවන් එක මිට ට සමඟිව සිටියේ ය.

පවෙල්ට සිටි අවංක මිත්‍රයා නක්හොද්කා වැනි උන් මිත්‍රත්යට මෙන්ම විප්ලවයට පරමාදර්ශයකි.මිනිසෙකුට සිටිය යුත්තේ එවැනි මිතුරන් ය.අවසාන මොහොතේ, අමාරුම මොහොතේ වත් අත් නොහරින මිත්‍රත්වය වෙනුවෙන් දිවි පිදීමට වුව සුදානම් මිත්‍රයන් ය.

ඔවුන්ගෙ සමඟිය එසේ වුව ද අප රටේ කැරැල්ලෙ මහ නඩුවේ දී ම එකට කැරලි ගැසූ නායකයින් ඇණ කොටා ගනිමින් අවසන නඩුව අතරතුර ලොකු අතුලගෙන් විජේවීර ම ප්‍රශ්න නැඟීමට තරම් අප විප්ලව වාදි නායකයි ඇණ කොටා ගැනීම නිසා ම අදත් රට ට සැබෑ වමක් අහිමි ව ගියාදෝයි මට සිතේ.

මෙම කතාව අතරතුර සැබෑ ප්‍රේමය ගැන ද සියුම්ව කතා කිරීමට ගොර්කි අමතක කර නොමැත.

අහිමි වන බව දැන දැනත් හදවතින් ම ප්‍රේම කරන සෂෙන්කා ලා අද සමාජයේ සෙවීමට අපහසු මෙන්ම එසේ ප්‍රේම කරන උන් ද සෙවීම කලුනික සොයනවා වැනි නොවෙ ද...?

තම ප්‍රේමවන්තයා සයිබිරියාවට පිටුවහල් කළ විට ඇය ද එම ගමන් මග ගැනීම ප්‍රේමය ම නොවේ ද...?

ළමයි ලැබුණොත් මොනවා වෙයි ද යැයි පවෙල්ගේ මව නැඟු ප්‍රශ්නයට ඇය විසින් දෙන පිළිතුර මෙසේ ය.

"ඒක එතකොට බලා ගත හැකි වේවි.එයා මාව ගණන් නොගත යුතුයි.මම එයාට ගොඩක් ආදරෙයි.මට ඕන එයාට සතුටයි ආදරයයි දෙන්නයි.නමුත් මම එයාට බාදාවක් වෙන්න හැසිරෙන්නෑ"

මෙසේ තමාගෙ වේදනාව යටපත් කර අනෙකාගෙ සතුට සොයන ප්‍රේමයන් අද විරල වුව ද ප්‍රේමයනම් එය නොවේ ද...?

ප්‍රේමය විරහව වේදනාව විප්ලවය එකමුතු බවේ සවිය ආදි දැවැන්ත පරිමාවක් යටතේ ලියවුණු දැවැන්ත නවකතාවකි අම්මා.

කෙසේ වෙතත් මා මෝහනයට පත් කළ එදා මෙදා තුර ඇද බැද තැබු නවකතාවකි.නමුදු එදා ප්‍රථම වර කියවුවාට වඩා දෙවනි වර කියවු මා තව තවත් ඇද බැද තබා ගැනීමට ගොර්කි නම් ඒ මහා ශ්‍රේෂ්ඨ ලේඛකයා සමත් විය.

එදා පළමු කියවීමට වඩා අප රටේ භීෂනය මා මතකයට අඳුරු සෙවනැළි ගෙන හැර පාමින් නොයෙක් වර හොල්මන් කෑ විය.

කවුරු කෙසේ කීව ද විප්ලවීය නායකයන් කුමන පාවා දීම් වැරදි මං පෙත් ගත්තා ද...?

කිසිඳු පුද්ගලික ප්‍රතිලාභ නොතකා නිය ගලවන විටත්, ධර්ම චක්‍රයේ කරකන විටත්, මිරිස් ගොනි තුළ බස්නව විටත්, වෘෂණ කෝෂ මේස ලාච්චු තුළ දමා වසා දැමුවත්, ගුද මාර්ගවලට එස්ලෝන් බට කමුබි කටු බැස්සුවත්, පරාල ඇණ ඔලු ගෙඩි පසාරු කරද්දී ද විප්ලවයට ජය වේවා යැයි හඬ නැඟු සහෝදරයිනි...,
මේ නවකතාව හරහා නුඹලාගෙ දොංකාරය දෙසවන් පුරා හඬ නඟයි.

නුඹලාගේ ඒ කැපකිරීමට අප සදා ණය ගැති වෙමු.ඔබ හෙලූ ලේවල පුසුඹ තවමත් බොහෝ නාස් පුඩු හරහා ගමන් කරයි.

අද පක්ෂයේ සමහරුන් පවාදීම්, ඩිල් මැද ගමන් කළ ද නුඹලාට ඇති ගෞරවය නුඹලාගේ කැපවීම තවමත් මතකයේ ඇති පිරිස් රට පුරා විසිර ඇත.

නුඹලා ගත් ගමන් මග වැරදි බව අප අද ද හෙට ද පුන පුනා පවසන්නෙමු.නමුදු නුඹලා දිවි පිදුවේ පොදු අරමුණකට බව ද අප දනිමු.

නුඹලා වැරදි මග ගමන් ගත්ත ද නුඹලාගේ ඒ කැපකිරීම කිසිදා හෑල්ලුවට ලක් නොකරන්නෙමු.

රට ට ආදරේ කරන උන්, රට ගැන කැක්කුම ඇති උන් එදා මිය ගිය නිසාවෙන් අද හොරුන්, පාදඩයන්, පාවාදෙන්නන් රජ කරමින් ඇත්තේ රට ට හිතැති නුඹලා වැරදි මග ගොස් වටිනා ජීවිත කැපකළ නිසාවෙන් බව අද අප අත් විඳිමින් සිටිමු.

ගොර්කිගේ අම්මා....

ලොව විප්ලවවාදීන්ගෙ අත්පොතකි.එය පසක් වුයේ එම කතාවත් ලංකාවේ විප්ලවයත් එකිනෙක සැසදෙන අපුර්වත්වය සිහියට නැඟීමෙනි.

මෙවන් නවකතා අනුවාදනය කරමින් අප පාඨකයන්ට කියවීමට මග සලසා දෙන හස්තික පොල්වත්තගේ ට පාඨක අපේ ප්‍රණාමය ද පුද කරමු.

ජය!
අරවින්ද රත්මල්ගම.

Comments

  1. ගෝර්කිගේ දේශයෙන් ඔබ්බට නිලව්නාලා අදටත් අඩුවක් නැති බිමක, විප්ලවීය කලෙක ඛේදනීය ඇත්ත ද නොසඟවා ලියූ අපූරු විවරණයක්....ජය!

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. ගෝර්කිගේ අම්මා ......

    ගෝර්කිගේ අම්මා මගේ අම්මාම නොවුනත්, ගෝර්කිගේ අම්මා වගේම ,මගේ අම්මත් දුක් විඳපු කෙනෙක්.ගෝර්කිගේ අම්මා කියවද්දි මට අවුරුදු 15 යි.නැවත එය මට කියවන්න ලැබුනේ නැහැ. නමුත් චිංගීස් අයිත්මාතව්ගේ " අම්මා සහ මිහිකත " කෙටිකතාවක් නිසා එය ගෝර්කිගේ අම්මාට වඩා මතකයේ රැඳුනා.හිට්ලර්ගේ රුසියානු ආක්‍රමනයෙන් පස්සේ ඇතිවෙච්ච දේශප්‍රේමි යුද්දයේදි සැමියා සහ පුතුන් තිදෙනා මිය ගිය ගොවි කාන්තාවකගේ දුක්බර කතාන්දරය ඒ කෙටිකතාවෙන් දිග හැරෙනවා.කොහොම වුනත් මක්සිම් ගෝර්කිගේ අම්මා ගැන අරවින්ද විචාරය මම ආසාවෙන් කියෙව්වා.ඒක අපූරුයි.

    ඇත්තටම මේ ලෝකයේ අපි වැඩිපුරම මුවින් පිට කරන වචනය අම්මා.

    අපි අම්මට මුල් තැන නොදෙන සමාජයක් තියෙනකම් මේ පුරුෂාධිපත්‍ය සමාජයේ අම්මා ගැන කතා තව කොතෙක් ලියවෙයිද? ඒ ගැනයි හදවතට දුක.

    ජය මිත්‍රයා

    - නිල්මිණි වීරරත්න -

    ReplyDelete
    Replies
    1. වීර පදනම...ස්තුතියි ඔබට..

      Delete

Post a Comment

Popular posts from this blog

මතක මිය ඇදෙන සඳ

පිරිමි නිරුවත.

බල්ලෙකුගෙ හදවත