දේශද්‍රෝහියාගේ නිර්මල හෘදය.

පොතක් ......

බොහෝවිට පොතක් යන්නට අර්ථකථනයන් බොහෝ ය.නමුදු මා දැඩිව විශ්වාස කරන කාරණය නම් යම් පොතකින් යමෙකුගේ ප්‍රඥ්ඥාව අවධි කරයිනම් එය මහා අනර්ඝ පොතක් යන්නයි.

ලංකාවේ ස්වතන්ත්‍ර නංවාලිය යුතු බවත් දේශීය ලේඛකයා රැකගත යුතු බව සඳහන් කළත් මෑත කාලීන බොහෝ ලේඛකයන්ගේ ලියවිලි ප්‍රශ්නකාරි මෙන්ම හරසුන් බව මා දැක ඇත.

විශේෂයෙන් ම ලේඛිකාවකගේ මෑතකාලීනව හිතට හදවතට දැනෙන පොතක් මට හමු වී නැති තරම් නිසාවෙන් මා බොහෝ විට වත්මන් ලේඛිකාවන්ගේ පොත් කියවීම අඩු කළ බව කණගාටුවෙන් සඳහන් කළ යුතුය.

එසේ සිටිය දී  මෙවර නිවාඩුවට මව් රට ට පැමිණ පොත් කඩවල් වල සැරි සරද්දී මගේ මුහුණු පොතේ සිටින ලේඛිකාවක වන නිසාත්, පොතේ නම නිසාත් මෙම "දේශදෝහියෙකුගේ නිර්මල හෘදය" පොත මිලට ගතිමි.

විශ්මයකි...
තරංගනි රෙසිකා ප්‍රනාන්දු, නැතිනම් ආදරණීය තරුරසී අක්කා...
මා පුදුමයට පත් කළා පමණක් නොව ඇගේ ලේඛන දක්ෂතාවය මා මත් කළේය.
පිටු 230 ක් තුළ ඇය මා ලක් මව් තුළ මෑත ඉතිහාසයේ සියළු ඛේදනීය ඉරණම් කරා රැගෙන ගියේ ය.

මට අලුතින් බොහෝ දෑ සිතීමට ඈ බල කළා ය.ජීවිතයේ සමාජ, දේශපාලන, ආර්ථික ක්‍රමයන් හි නවමු මුහුණුවරක් ඈ මට පසක් කළේය.

පොත කියවා අවසන් වුව ද මා තවමත් නිද්‍රාවෙනි.තවමත් යම් ගැටලුකාරි තැන් විසඳමිනි.අලුත් පොතක් කියවීමට අතට ගෙන එය කියවීම පසෙක ලා තවමත් මම ආදිත්‍යලා,සෙව්වන්දිලා අතර පමණක් නොව යුද්ධ නාමයෙන් එයට මුවා වී සිදු වු ඝාතන රැළි අතර  අතරමංව ය.

මනුෂ්‍යත්වය කිමැයි...මේ පොත මට තව තවත් පසක් කරමින් සිටී.දේශපාලකයා පුරවැසියා තුළ වෛරී සිතුවිලි පුරවා තම හිතමිතුරන්, අසල්වැසියන් පමණක් නොව විටෙක සහෝදරාත්මක බැදීම් ද නැති වන ලෙස කා කොටා ගැනීමට පිඹුරුපත් ඉතිහාසයේ සිට ම සකස් කළ බවත් එය එසේම වර්තමානයේ ද සිදුවන බවත් පාඨකයා දැනුවත් කිරීම කෙතරම් අගනේ ද..?

දේශපාලකයා කෙතරම් මෘග ද යත් ආගම් තුළට පවා දේශපාලනය ඔබ්බවා ලෝගු ලා සිටින පුජකවරුන් ද සෑම ආගමකම ඇති මෛත්‍රිය වෙනුවට වෛරය වපුරවමින් සිටි.

පොතේ එක් තැනක පන්සලේ එක් පසක යුධ ගිනිදැල් මැද සිටින සෙබලා ද අනෙක් පස සිසිල ගෙන දෙන බෝ පත් ද දකින සෙව්වන්දිට දැනෙන කම්පාව පාඨක අපට ද එලෙසම දනවන්නට ලේඛිකාව ගත් වෑයම සාර්ථක වී ඇත.

පාඨකයාට ලොව මනුෂ්‍යත්වය කියා දීමට හිරෝසිමා, නාගසාකි, නාසි සිරකදවුර රූප රාමු අතරින් වෙල්ලස්සේ සටන,58 ශ්‍රි කෝලාහලය,71 කැරැල්ල,83 කළු ජූලිය,මෙන්ම 88/89 කැරැල්ල පවා සිහි ගන්වන්නේ පුදුමාකාර ලෙස ය.

දකුණ පමණක් අසන දකින ජනයාට උතුරේ ද ත්‍රස්තවාදයට විරුද්ධ පිරිස් මනුෂත්වයේ නාමයෙන්, මිනිසුන් වෙනුවෙන් සටන් වැදි පිරිස් ත්‍රස්තවාදයේ නාමයෙන් බිලි ගන්නා සැටි කියා දීමට දරා ඇති තැන සාර්ථක පමණක් නොව විශ්මිත ද වේ.

සමාජ, ආර්ථික, දේශපාලන මෙන්ම මනුෂ්‍යත්වයත් එමෙන්ම උත්තරීතර ප්‍රේමයත් මෙවන් කුඩා පොතකින් පාඨක හදවත් දෙදරවීමට සැලැස්වීම තුළ ම ලේඛිකාවගේ දක්ෂ ලේඛනය සමත් ය.

ප්‍රේමයේ අවසන් ප්‍රථිපලය විවාහය යැයි සිතන සමාජයක විවාහය ගැන නොසිතා තම සමාජ ආගමික තත්වය ද නොතකා විවාහය අමතක කොට අයිති කර ගැනීමක් සිහිනෙන් ද නොසිතා ආදිත්‍යලාට ප්‍රේම කරන සෙව්වන්දිලා කොතෙකුත් සමාජයේ ඇත.නමුත් එවන් චරිත එළියට නොයෙන්නේ නැතිනම් ලේඛකයන් එළියට නොදමන්නේ විටෙක සමාජයේ එන ගැරහුම්වලට බියෙන්දැයි අප නොදනිමු.

නමුදු මෙම ලේඛිකාව එය සියුම්ව පාඨක හදවත් තුළට රිංගවා ප්‍රේමය යනු කිමැයි,මනුෂ්‍යත්වය යනු කිමැයි සමාජ දේශපාලනික මෙන්ම ආර්ථික වශයෙන් සමාජයේ ජීවත් වන අපට ඇති වගකීම කිමැයි කියා දෙන හැටි අපුර්වතම නොවේ ද..?

කෙසේ වෙතත් මා ලංකාවේ ලේඛිකාවක් අතින් බිහි වු විශිෂ්ඨ නිර්මාණයක් ලෙස මෙය හැඳින්වීමට පසුබට නොවෙමි.

එයට හොඳම සාක්ෂිය ලෙස මෙම පොතට කිසිඳු සම්මානයක් නොලැබීම ම ප්‍රමාණවත් ය.

මන්ද මෙවන් පොත්වලට, සත්‍ය වමාරන පොත්වලට පාලකයා බියෙන් සැලෙනු ඇත.පන්දම් හිතවත්කම් උඩ සම්මාන දෙන ලංකාවේ සම්මාන උළෙලවල් වලින් මෙවැනි විශිෂ්ඨ පොත් ඉවතලෑම යනු ම එම පොතේ ඇති ගුණාත්මකභාවය ගෙන හැරපෑමක් ලෙස මා දකිමි.

ලේඛිකාවට සහ ප්‍රකාශනයට ද එක් චෝදනාවක් ඇත.එනම් මෙම පොතට දුන් ප්‍රචාරණය බොහෝ ලෙස අවමයි යන්නයි.

කිසිඳු හරයක් නැති පොත් මෙන්ම පරිවර්තන විකිණීමට දැන් දැන් පාඨකයා ගසා කෑමට බලා සිටිනා බොහෝ ප්‍රකාශකයෝ කෙටි චිත්‍රපට පවා නිපදවයි.කල්ලි කණ්ඩායම් සකසා මුහුණු පොත දෙවනත් කරයි.

බොරු රණ්ඩු මඩ ගැසීම් තුළින් ප්‍රචාරණය ලබා හෝ පාඨක පසුම්බියට විද කිසිඳු හරයක් නැති පොත් කෙසේ හො විකිණීමට වග බලාගනි.

එවන් කලක මෙවන් විශිෂ්ඨ වුත් හරවත් වුත් පොතකට වැඩි ප්‍රචාරයක් අවශ්‍ය බව මට සිතේ.මෙවන් පොත් සියලු පුරවැසියන් කියවිය යුතුම පොතකි.

ඈ මෙසේ ලියා ඇත්තෙ පොතක් නොව ලාංකීය පුරවැසියෙකු තම ජාතික වගකීම ඉටු කිරීමකි.

රටේ පාලකයන්ගෙන් නම් මෙවන් පොත්වලට කිසිඳු වටිනාකමක් අගයක් නොදෙනු ඇත.මන්ද මෙසේ අමු අමුවේ සත්‍ය එළි කරන පොත් පුරවැසියා කියවීම තුළ පාඩුව පාලකයන්ට බව ඔවුන් දන්නා නිසාවෙනි.

එබැවින් මෙවැනි පොත් ප්‍රචාරය කිරීම සියලු පුරවැසියන්ගේ ද යුතුකමකි.

සමහරවිට වත්මනේ පොත් විකිණීමට සමහර ප්‍රකාශන සමාගම් මෙන්ම සමහර කතෘවරු ද යෙදෙන බලු පොරයේ යෙදීමට තරුරසී අක්කා අකමැති විය හැක.

මෙවන් විශිෂ්ඨ පොතක් එළි දක්වන මිනිසෙකු එවන් බලු පොරයක කෙසේවත් නොයෙදෙනු ද ඇත.

එබැවින් පාඨක අපේ යුතුකම මෙවන් ලේඛකයන් රැක ගැනීම නොවේ ද?

මෙය මා මෑතකාලීන ලේඛිකාවක් අතින් ලියවුණ විශිෂ්ඨ ම කෘතියක් ලෙස හැඳින්වීමට ද බිය නොවෙමි.

තරුරසී අක්කේ...

මේ ඉල්ලීම සමස්ථ පාඨකයා වෙනුවෙනි.පොත් යැයි කියා පිටකවර කුණුහරුප හෝ කිසිඳු හරයක් නැති පොත් එළියට දමා පාඨක අප රවටමින් සිටින වත්මනේ ඔබ අපට සම්පතකි.

පාඨක අප වෙනුවෙන් ඔබේ පන්හිඳට තව තවත් ශක්තිය දෙන්න.ඔබ අයිති ඔබට නොව රටට යි.ඒ ජාතික වගකීම ඉටු කරන්න.පාඨක අපේ දෑස් තව තවත් පාදන්න.

අන්ධ භක්තික දේශපාලන වහල් පුරවැසියා මුදවාලන්න.
ඔවුන්ට මනුසත්බව උගන්වා රට ඉදිරියට ගෙන යන්න.

තොල්ස්තෝයි විප්ලවයේ කැඩපතැයි ලෙනින් කියු කළ ලේඛනයට එතරම් දෑ කළ හැකිදැයි නිතර සිතු මට, ඔබ නිසි පිළිතුර ලබා දුන්නාය.

තව ලියන්න,ඔබ පාඨක අපට නොව රටට ම වටිනා ජාතික සම්පතකි.

අවංකව වැඩ කරන්න ගියා ම හැප්පෙන්න වෙන්නේ පෝසත්තුයි,දේශපාලකයොයි එක්ක.ඒක හරියට උස් කන්දකට බොහෝම අමාරුවෙන් නැගල කලු ගලක් උඩට පනිනවා වගේ වැඩක්.

ඒත් ඒ පොතේ හැටියට ම එය අමතක කොට..,
විමුක්තිය ගැන ඉගෙන ගත්තට මදි.වැඩ කරන්න ඕනි.ඒකට පවතින සමාජ දේශපාලන න්‍යාය පත්‍ර ගැන අවබෝධයක් තියෙන්න ඕන.

අද රටේ නැත්තේම එය නොවේ ද..? ඉතිං එසේ අවබෝධය ලබා දීම ඔබ වැනි ලේඛිකාවන් අතින් සිදු විය යුතුම කරුණකි.

සුභම සුභ පැතුම්...!


ජය!
අරවින්ද රත්මල්ගම.

Comments

  1. ඔබ කියවූ පොතක්, අන්‍යයන් හා බෙදා ගන්නට ඔබ ගන්නා උත්සාහය හරි ඉහළයි...
    ඔබට ජය!

    ReplyDelete
  2. ස්තුතියි දිරිගැවිමට ඔබටත් ජය

    ReplyDelete
  3. KIYAWALA BAANDA ONI RATHTHO

    ReplyDelete
  4. ඔව් කියවන්න වටින පොතක්..Nish

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

මතක මිය ඇදෙන සඳ

පිරිමි නිරුවත.

බල්ලෙකුගෙ හදවත