දං පදුරට ආ රැහැයියා.

ලෝක කෙටිකතා ඉතිහාසය බොහෝ ඈතට දිව ගිය ද ලාංකීය කෙටි කතාව 1924 වර්ෂයේ දී මාර්ටින් වික්‍රමසිංහයන් විසින් රචිත "ගැහැනියක්" ප්‍රථම කලාත්මක කෙටිකතා සංග්‍රහය ලෙස සාහිත්‍යය ලෝකයේ පොදු පිළිගැනීමයි.

එහි සංවර්ධන අවධිය ලෙස සරච්චන්ද්‍ර ඇතුළු පේරාදෙණිය ගුරුකුලය ක්ෂේත්‍රයට ඇතුළු වීම ද හැඳින්විය හැක.

1969 දී "කාලයාගේ ඇවෑමෙන්"නැමැති කෙටි කතාවෙන් සරච්චන්ද්‍රයන් ද කෙටිකතා ලෝකය ආලෝකමත් කිරීමට පා තැබූ බැව් අප දනිමු.

මාර්ටින් වික්‍රමසිංහයන්ගෙන් එසේ ඇරඹි කෙටිකතාව සරච්චන්ද්‍රයන්,ජි.බී.සේනානායක,කේ. ජයතිලක,ගුණදාස අමරසේකර,ඒ.වී.සුරවීර,දයාසේන ගුණසිංහ වැන්නවුන් හරහා පෝෂණය වුව ද මෑත කාලීනව කෙටිකතාවන් අභාවයට යෑමක් අපට දැකගත හැකිය.

එයට ප්‍රධානතම කාරණා ලෙස කතාකරුවන් විදෙස් උරුවක් ලබා ගැනීම,එකම ආරක කතා,භාෂා දැනුම මදකම නිසා නීරස භාෂා ශෛලය වැනි බොහෝ කරුණු කාරණ එයට බලපා ඇති බැව් අප දුටු කාරණා වේ.

මෙසේ කෙටි කතාව සාහිත්‍යය                        ක්ෂේත්‍රයෙන් දුරස්ව මිය යාමට ආසන්න බවත් එය ගොඩගත නොහැකි බවත් මා ද පුද්ගලිකව දැරූ මතයක් වූයේ කියවීමට විශිෂ්ඨ යැයි කිවහැකි කෙටිකතා සංග්‍රහයන් වත්මනේ අල්ප වූ බැවිනි.

එසේ කෙටිකතා ගැන කළකිරීමෙන් සිටි මා හට පසුගිය දිනෙක අහඹු ලෙස ක්ෂේම භූමියට දිය බිඳක් වැනි විශිෂ්ට කෙටිකතාවක් හමුවීම මා පවා විස්මයට පත් කෙරූ කරුණකි.

"දං පඳුරට ආ රැහැයියා"

පිටු 136 කින් ද කෙටි කතා 8 කින් ද සමන්විත වූ මෙම පොත් පිංච මා විශ්මයට පත්කළා පමණක් නොව ම'සිත දැඩිව අල්ලා බැඳ තබාගන්නට ද එය සමත් විය.පාඨකයෙකු එසේ දැඩිව අල්ලා තබා ගැන්මට ලේඛකයාගේ අකුරු හරඹය සමත්නම් එය ම පොතක සාර්ථක බව නොවේ ද?

පොත් ක්ෂේත්‍රයේ කෙටි කතාව මරණ මංචකයට යනු ඇතැයි කළ පරිකල්පනය උඩු යටිකුරු කිරීමට මේ කෙටිකතා සංග්‍රහය සමත් වූ බව නොබියව පැවසිය හැක.

සාමාන්‍යය කෙටිකතා පොතක විශිෂ්ට එක් කතාවක් හෝ දෙකක් ඇතුලත් කර අනෙක් ඒවා කිසිඳු තැකීමක් නොකොට පොත් පල කර ඇති සැටි අප අනන්තවත් දැක තිබේ.

නමුදු අමාලි අනූපමා මල්ලවආරච්චි විසින් රචිත මෙම "දං පඳුරට ආ රැහැයියා" පොතෙහි ඇති කතා සියල්ල පාහේ විශිෂ්ට ගණයේ කතා ලෙස සැලකිය හැකි වීම මා විශ්මයට පත් කළේය.

මෙම කෙටි කතාව තුල මා දුටු විශේෂිතම ලක්ෂණයවන්නේ මාර්ටින් වික්‍රමසිංහයන්ගෙන් පටන්ගත් කෙටිකතාව පසුකාලීන කතාකරුවන් එකම රාමුවක් තුල විවිධ ස්වරුපයන්ගෙන් සිදු කළ ද එය අතික්‍රමනය කිරීමට යම් චකිතයක් දැක්වූව ද,මෙම ලේඛිකාව තම පළමු කෙටිකතාවෙන් ම එම රාමුවෙන් පිට පැනීමට නොබියව ගත් අතිසාර්ථක වෑයමයි.

නවක නිර්මාණකරුවෙකු ලෙස අමාලි තම නිර්මාණ හැකියාව මෙන්ම කෙටිකතා රාමුවෙන් පිට පැන නව අත්හදා බැලීමකට ලේඛකයා දැරූ උත්සාහය අති සාර්ථක වී ඇති බැව් එයට ලැබුණා වූ සම්මානය පමණක් නොව කියවූ පාඨක ප්‍රතිචාර ද සාක්ෂි දරනු ඇත.

කතා බොහෝමයක් මනෝව්‍ද්‍යාත්මක ස්වරූපයක් ගැනීම මෙහි මා දකින තවත් සුවිශේෂී කාරණාවක් බව ද සටහන් කළ යුතුම ය.කිසිඳු කතාවක් සාමාන්‍යය කියවීමෙන් එකවර තේරුම් ගැනීමට නොව ඉන් එහාට පාඨකයා රැගෙන ගොස් සිතිවිලි ධාරා හා පාඨකයාගේ මනස යම් තර්කානුකූල තලයකට කැඳවා ගෙන ගොස් වටහා ගන්නා ලෙස සිදු කර ඇති මෙම නිර්මාණය ඉතා ඉහළ බව කියවන කා හටත් වැටහෙන පරම සත්‍යකි.

එමෙන්ම පාඨකයාට තර්කානුකූලව සිතීමට පමණක් නොව ඉන් ඔබ්බට ගොස් ලේඛකයා හා සංවාදාත්මකව කියවීමට ඇති හැකියාව මා මින් පෙර දැක ඇත්නම් ඒ කතා කිහිපයකින් පමණි.ඒ අතරින් ද මෙය ඉහළින් ම ඇති බව මාගේ හැඟීමයි.

එමෙන්ම මෙහි ඇති සමාජීය පණිවිඩ ,එය පාඨකයාට නොදැනෙන ලෙස පාඨක මනස අතික්‍රමණය කිරීම සිත්ගන්නා සුළු මෙන්ම මවිත කරවන සුළුය.

මෙහි ප්‍රථම කතාව වන "භින්න" කතාව තුල කතාවට අත්‍ය‍වශ්‍ය නොවන අන්ජලා මරා දැමූ සිද්ධිය ගෙනහැර දැක්වීමේ දී "කිසිවෙකුට අයිති නැති පොලිතින් බෑග් පාරේ හැම තැනම" වැනි දෑ තුලින් පාරිසරික හානිය පිළිබඳ පාඨක මනස අවදි කිරීම සිත්ගන්නා සුළුය.

ඔක්සිජන් පවා අවශ්‍ය නැති බව පවසන පිරිස් සිටිනා වත්මන් සමාජයේ ලේඛකයකු තම නිර්මාණ අභ්‍යන්තරයේ මෙවැනි පණිවිඩ ලබාදීම විශිෂ්ඨ නොවන්නේ ද?
එයම සමාජය අවදි කිරීමක් නොවේ ද?

එමෙන්ම වත්මනේ රටට පිළිලයක්ව පවතින ජාතිවාදය,ලොවට පෙනෙන්නට සිල් රෙදි පොරවා සිටින උන්ගෙ ඇතුලාන්තය,බලයෙන් ධනයෙන් මත් වූවන්ගේ නොමනා ක්‍රියා,ප්‍රේමයේ නාමයෙන් කාමාශාවන් සපුරාගන්නා උන්,ගැහැනිය හට සමාජය තුළ සිදුවන අසාධාරණ නොමනා ක්‍රියා,සමාජය තුල ඇති ලිංගික අසහනය වැනි විවිධ පැතිකඩ ඔස්සේ විවිධ පරිකල්පනයන් මත බිහි කර ඇති සුවිශේෂී කෙටිකතා සංග්‍රහයකි.

එමෙන්ම මෙහි දැකිය හැකි සුවිශේෂී කරුණකි, පාඨකයාට කතාව ආරම්භයෙ දී අවසානය කුමක්දැයි නිශ්චය කරගත නොහැකි වීම.

බොහෝ නවකතා පවා පිටුවකින් දෙකකින් අවසානය නිගමනය කළ හැකි බාල වර්ගයේ කතා බවට වත්මනේ පත්ව ඇත.

නමුදු මෙහි ඡේදයෙන් ඡේදයට පාඨක කුතුහලය අවුස්සා පාඨකයා මවිත කරමින් සිතමින් තර්ක කරමින් කතාවේ අවසානය කරා රැගෙන යාම මෙම කෙටි කතාවේ සුවිශේෂී ම කාරණාවක් වේ.

අවසානයට යන තෙක් පාඨකයාට එහි අවසානය නිගමනය කළ නොහැකි ලෙස  කතාවක් නිර්මාණය කිරීම සියුම්ව සහ ඉතා කල්පනාකාරීව සිදුකළ යුතු අතර එය ලෙහෙසි පහසු කටයුක්තක් ද නොවේ. කෙටි කතාවක් තුල නම් එය සිදු කිරීම අතිදුෂ්කර කාර්‍ය්යක් වුව ද මෙම ලේඛිකාව එය අති සාර්ථකව සිදු කර ඇත.

සිතීමට යමක් ඇති තර්ක කිරීමට දෙයක් ඇති,කතාව කියවා නිදහස්ව සිතමින් කතාව වටහා ගත යුතු තර්කානුකූල භාවය ඉතා ඉහළ මනෝවිද්‍යාත්මක ස්වරූපයක් ගන්නා සම්ප්‍රදායික කෙටිකතා රාමුවෙන් පිට පනිමින්,නිසි භාෂා ශෛල්‍යයක් ද සරල වදන් හරහා ගැඹුරු සිතීමකට පාඨකයා කැන්දා යන මෙවැනි කෙටි කතා ලාංකේය සාහිත්‍යය නම් මඩ ගොහොර තුල පිපි අරවින්දයක් ම නොවන්නේ 

මරු වැලදගනිමින් තිබු කෙටිකතා ක්ෂෙත්‍රයට හුස්ම පොදක් අවැසිම මොහොතේ තම පන්හිද අවදි කරමින් තම යුතුකම ඉටුකරමින් ලාංකීය සාහිත්‍ය ක්ෂේත්‍රයට කල මෙහෙවරත්, විශිෂ්ඨ ලේඛකයන් අවැසි මොහොතක එම හිඩසද පුරවාලීමට තම පන්හිද අවදි කල අමාලි අනූපමා මල්ලවආරච්චි නම් ඒ විශිෂ්ඨ ලේඛිකාවට තව තවත් මෙවන් නිර්මාන බිහිකිරිමට අප මෙසේ සුභ පතන්නෙමු.

ජය!

✍️ අරවින්ද රත්මල්ගම.

Comments

Popular posts from this blog

මතක මිය ඇදෙන සඳ

පිරිමි නිරුවත.

බල්ලෙකුගෙ හදවත