ලොවම මවිත කල පීසා කුලුණ.

ඉතාලියේ පීසා නගරය කියූ සැනින් කුඩා දරුවෙකුගේ සිතෙහි පවා වහා මතකයට නැගෙනුයේ පීසා කුලුන යි.


එම නගරය මෙතරම් සුප්‍රසිද්ධ වීමට ද මෙම පුදුම සහගත පීසා කුලුන හේතු වූවා යැයි කීවොත් මා වැරදි නොවේ.

එමෙන්ම ප්‍රංශයේ අයිෆල් කුලුන තරමට ම මෙන්ම ඒ තරමට ම සංචාරකයන් ඇද බැද තබා ගැනීමට ද මෙම කුළුන සමත්ව ඇත.

නමුදු අයිෆල් කුළුනට වඩා පෞරාණික වටිනාකමකින් මෙන්ම එයට වඩා ලොව වැදගත් උරුමයක් ලෙස සඳහන් කීරිම ද අතිශෝක්තියක් නොවනු ඇත.

උතුරු ඉතාලියෙ ෆිරෙන්සි නගරයට තරමක් නුදුරින් පිහිටි මෙම නගරය, ඉතාලියේ ගරිබාල්දි නම් මහා සෙන්පතියා එක්සත් කිරීමට ප්‍රථම කුඩා රාජ්‍යයකි.

එම රාජ්‍යයේ පිහිටියා වූ දේවස්ථාන කුලුනක් ලෙසයි මෙම කුලුන නිමවා ඇත්තෙ.

අද වන විට අගමිකත්වය කුමක් වුවත් විවිධ ආගම් අදහන්නෝ පවා මෙහි ඇති විශිෂ්ට නිර්මාණය දැක ගැනීමට පැමිණේ.

එමෙන්ම සමහර පිරිස් ගීත ගායනා කරමින් විනෝදයෙන් මෙම කුලුන තරණය කරනා සැටි ද දැක ගත හැකි විය.

එය නිතර සිදු නොවුනත් පාසල් සිසුන් බහුල දිනවල ඔවුන් එසේ ගායනා කරමින් නගිනු දැකිය හැක.

මෙම කුලුන නැරඹීම සඳහා ප්‍රවේශ පත්‍රයක් මිල දී ගත යුතු අතර අද වන විට එය යුරෝ 20 පමණ අය කරන අතර එය ලංකා මුදලින් රුපියල් 4000 ක් පමණ වේ.

ඊට අමතරව මෙම පරිශ්‍රයේ කෞතුකාගාරයක් ප්‍රධාන පල්ලිය සහ අතුරු ගෝලාකාර මනරම් පල්ලියක් ද පිහිටා ඇති අතර ඒවා නැරඹීම සඳහා වෙන වෙනම ප්‍රවේශපත්‍ර මිල දී ගත යුතුය.

මෙම මුදල තරමක් අධික වුව ද මෙහි කිසිඳු හොරයක් බොරුවක් නොවන අතර සියලු මුදල් රජයට ලැබන අතර එම මුදලින් ඉතාමත් විශිෂ්ට ලෙස ප්‍රතිසංස්කරණ කටයුතු කරනු ලබයි.

ලංකාවේ  සිරි නරඹීමට පැමිණෙන විදේශිකයන්ට හොර ප්‍රවේශපත් ආදිය විකුණා, රජයට හිමි මුදල් විශාල ලෙස ගසා කෑව ද මෙවැනි රටවල එසේ නොවන බවට මේවා හොඳ සාධක වේ.

මෙහි ප්‍රධාන වන්නේ දේවස්ථානය වුව ද වැඩිපුර ප්‍රසිද්ධව ඇත්තේ මෙම පීසා කුලුන වේ.

මෙම කුලුන දේවස්ථානයේ ඝණ්ටාර කුලුන වේ.මෙම ඝණ්ටාර කුලුන මෙතරම් සුප්‍රසිද්ධ වීමට සහ පුදුම සහගත වීමට හේතුව එය මදක් ඇලවී තිබීමයි.

හුණුගලින් නිපදවා ඇති මෙම කුලුන පිටතින් කිරිගරැඬින් නිමවා ඇත.
මෙය ඇලවි ඇති නිසා උස ප්‍රමාණ දෙකකි.
කෙටි දිශාවෙන් කුලුන මීටර 55.86 (අඩි 183 පමණ) ද,උස දිශාවෙන් මීටර 56.67 (අඩි 185.93) වේ.
මෙය නැගීම සඳහා පඩි 294-296 පමණ ඇත.මෙහි බර ටොන් 14 500 ලෙස ගණන් බලා ඇත.

මෙම කුලුනෙ ඇලය පෙර 5.5 පමණ තිබු අතර,1990 ත් වර්ෂ 2001 අතර කළ ප්‍රතිසංස්කරණ කටයුතු හේතුවෙන් මෙම ඇලය අවම වී දැනට එය 3.97 පමණ වී ඇත.

මෙය මහල් 7 කින් සහ ඝණ්ටාරය සවි වී ඇති කොටස සමඟ මහල් 8කි.මෙය මහල් 7 කින් නිම කර වීමට හේතුවනම් සංගිතයේ සප්ත ස්වරය පෙන්නුම් කිරීමටයි.

මෙම කුලුන සුප්‍රසිද්ධ වීමට තවත් වැදගත් කාරණාවක් ඇත.ඒ ලෝ සුප්‍රසිද්ධ ඉතාලි ජාතික ගැලීලියො ගැලලි නම් ශ්‍රෙෂ්ඨ විද්‍යාඥයා මෙම කුලුනෙ සිට සිදු කළ විද්‍යාත්මක සොයාගැනීම නිසයි.

මෙම සිලින්ඩරාකාර කුලුන මැඩෝනා සහ ළමුන්ගෙ ප්‍රතිරූපයෙන් සැරසී ඇති අතර මහල් 7න් ඉහළ දැවැන්ත එක් ඝණ්ටාරයක් සමඟ එහි සහයට මෙන් කුඩා ඝණ්ටාර ද දෙකක් පිහිටි ඇත.

මෙම කුලුනට නගින පඩි සියල්ල පාහේ ඉපැරණි ස්වරූපයක් ගන්නා අතර ඒවා ගෙවී ඇතුලට ගැඹුරට නෙරා ඇත.

මෙය වර්ෂ 1173 දී නිර්මාණය කිරීම ඇරඹී ඇති අතර එය නිමවීමට වසර 199 ක් ගත වී ඇත.එහි අරුත ගිනි ගත් නෝත්‍රදාමය ප්‍රංශයේ නිමවන කාලය සහ මෙම පීසා කුලුන නිර්මාණය වන වාකවානුව හා සමාන කාල වකවානුවක සිදු කර ඇති බව නොවෙද?

වර්ෂ 1178 දී කුලුනේ දෙවන මහල නිම කරන විට කුලුන එක් පසකට ඇලවී ඇත. වත්මනේ තරමට විද්‍යාව නොදියුණු යුගයක ඉදිකර ඇති මෙහි ඉදිකිරීමට ප්‍රථම මෙම ස්ථානයේ  පස පරික්ෂාවක් සිදු කර නොමැත.පසෙහි ඇති බුරුල හේතුවෙන් එය ඇලවී ඇත.

මෙම හේතුවෙන් දෙවන අදියරේ වැඩ ද නවතා දැමීමට සිදුව ඇත.තෙවන අදියර ආරම්භ කිරීම සිදුව ඇත්තේ නැවත වර්ෂ 1272 දී ය.

එතරම් කලක් වැඩ නවතා දැමීමට තව ප්‍රධාන හේතුවක් තිබුණි.එනම් යුධ කලබල සඳහා මෙම පවුරු රාජ්‍යය මුහුණ පෑමයි.

මන්ද මෙම වකවානුවේ ප්‍රංශය බලවත් වී සිටිමත් ප්‍රංශයේ ලුවි රජු ඉතාලිය තුළ බලය පැතරවීමට උත්සහ දැරීමත් සහ ඉතාලියේ වනිෂුලා,මිලානො,නෙපල්ස් වැනි පෞරණික රාජ්‍යන් තුළ යුධ ඇති වීමත්, වැනිසිය අසල පිහිටි පීසා රාජ්‍යයට ද මෙම යුධ සඳහා අත නොපා නොසිටිය හැකිවීමත් නිසා ය.

කෙසේ හෝ නැවත 1272 දී වැඩ ආරම්භ කළ ද නැවත 1284 දී යුද්ධයකට මුහණ පෑමට සිදු වුවත් 1319 වන විට වැඩ නිම කිරීමට එකල රජය සමත් විය.

මෙසේ සප්ත ස්වරය දැක්වෙන ලෙස නිමවූ කුලුනෙ ඉහළින් ම ඝණ්ටාර 7 ක් ද සවි කර ඇත්තේ එම සප්ත නිරූපණය වන ලෙසය.

මෙහි ප්‍රධාන දෙවස්ථානය සහ අතුරු දෙවස්ථානය ද ලෝ වැසියාට අති වැදගත් වනුයේ එහි කිසිවකට නොදැවෙනි ගෘහ නිර්මාණ ශිල්පය නිසාවෙනි.

ප්‍රධාන දෙව් මැදුරට ඇතුළු වූ අපහට ඉන් පිටතට පැමිණීමටනම් හිත් නොදුණි.මන්ද ඒ තරමටම එහි ගෘහ නිර්මාණ ශිල්පය පමණක් නොව එහි ඇති අතිවිශාල චිත්‍ර මනස්කාන්ත වන නිසාවෙනි.

එහි වහලය පවා අතිරමණීය ලෙස නිමවා ඇති අතර දෙව්මැදුරට හිරු එළිය පැමිණීම සඳහා වීදුරුවලින් සිදු කර ඇති නිර්මාණ පවා පුදුම එළවන සුළුය.

මෙහි කෞතුකාගාරය තුළ ද ඉතා වටිනා නිමැවුම් පිලිමාදිය ද ඇති මුත් සංචාරකයන් සියල්ලන්ගේ ම වඩා සිත් ඇදගන්නා ස්ථානය පීසා කුලුන වේ.

එය ඉතා හොඳින් රැකවරණය ලබන අතර එහි සංචාරකයන් සියල්ල එකවර ඇතුලු නොකරනුයේ ද එහි ආරක්ෂාවට ය.

ප්‍රවේශපත් ගන්නා ඔබ එහි සඳහන් වේලාව පැමිණෙන තුරු සිටිය යුතු අතර කෙතරම් ජනගහණයක් සිටිය ද නිතරම සීමිත ප්‍රමාණයක් ම එහි ඇතුලු කරනුයේ එහි ආරක්ෂාවට ය.

පීසා හි මෙම ඇලවෙන කුලුන මෙන්ම එම පරිශ්‍රය ද ලෝ වැසි සියල්ලන්ගේම උරුමයක් මෙන්ම එය රැක ගැනීම ද ලෝවාසී සියල්ලන්ගේ යුතුකමකි.

මෙය වර්ෂ1987 දී යුනෙස්කොව මගින් ලෝක උරුමයක් ලෙස ද නම් කර ඇත.

අරවින්ද රත්මල්ගම.

Comments

Popular posts from this blog

මතක මිය ඇදෙන සඳ

පිරිමි නිරුවත.

බල්ලෙකුගෙ හදවත