කාන්තාවන් රවටන දිනය අදයි.

අපේ මවුවරුන්ට සහෝදරියන්ට වෙන් වූ දිනය අද යි....

වටිනා නීල මාණික්‍යයක් අතින් ගෙන දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුවට අවේලාවේ පයින් යාමට තරම් කාන්තාවට ආරක්ෂාව තිබු රටක, කාන්තාවට ගෞරව කළ,සමාජයේ සැම ළඳක් ම මවක්‍ ය,සොයුරියක් ය කියා සිතන තරමට දියුණුව තිබු අපගේ මනස විකෘති කර කාන්තාවට බසයේ ආරක්ෂිතව යා නොහැකි තරමට හිත් දූෂණය කර,එක් දවසක් ඔවුන් වෙනුවෙන් වෙන් කර,සමරනු පිණිස එය අපට  බටහිරින් දායාද කළ දිනය අද යි.

දවසේ ආරම්භයේ සිට රාත්‍රියේ නිවසේ සියල්ලන් නිදන තුරුත් තම මුළු දිවායම ම පවුල වෙනුවෙන් කැප කළ ද කිසිඳු ඇගයීමකට ලක් නොවන කාන්තාව, අගයන දිනය අද යි.

තම පුද්ගලික ආශාවන් දිය කර හැර දිවිය ම තම පවුල වෙනුවෙන් කැප කර මාස් ශුද්ධියටවත් නිදහසක් නැති,  කුමන රෝගයක් තිබුණ ද ගෙදර මිනිහා ගමනක් යන විට  සියළු දේ අතට පයට කර දී එයට ද නිසි ඇගයුමක් නොමැතිව, සමාජය අද  වන් දිනක පමණක් ඇයව අගය යි.

මස්ශුද්ධියේ දී පවා "තොට විතර ද ඕක හැදෙන්නෙ.වෙන උන්ට නැ තිද? බොරුවට රඟපාන් නැතුව වැඩ කරපන්" යනුවෙන් අවලාද නගන,වැසිකිලි කැසිකිලි, පුද්ගලික පිරිසිදුකම් පවා අතපසු කර ගෙදර මිනිහාගේ ඇඳුම මැද දිය යුතු,එසේ කළ ද නිසි ඇගයීමක් නැති කාලකණ්ණි  පිරිමින් සිටින සමාජයේ ගැහැණිය, ලොවට පෙනෙන්නට අගයන දිනය අද යි.

ආර්ථිකයට ද උර දී නිවසේ බර කරට ගෙන රැකියාවක නියුතු වුව ද නිවසට පැමිණ ගෙදර මිනිහාගේ අතට පයට වැඩකර දිය යුතු වූත්,ගෙදර දරුවාගේ සියළු වැඩ කළ යුතු වූත්,බසයේ මහ මඟ, පොදු ස්ථානයේ පමණක් නොව රැකියා ස්ථානයේ ද ලිංගික අඩත්තේට්ටම් හා නොයෙක් අපයෝජනයන්ට ලක් වන අසරණ ළඳුන් රැවටීමට,ඔවුන් අගයන දිනය අද යි.

සියළු ආදයම් සිඳුණු කල, වෙනත් රටවලට කාන්තාව විකුණා,උන් ඉන්නා රටට බෝවන රෝගයක් ආකල, ඔවුන් නැවත තම මවු රටට එනවාට විරුද්ධ වන මුග්ධ පිරිමින් සිටින රටක,කාන්තාව අගයන දිනය අද යි.

කෙටියෙන් ම, මුළු මහත් සමාජය ම කාන්තා රීරි මාංස උරා බී, ඉනික්බිති  ඔවුන් රවටන දිනය අද යි.

එමෙන්ම...

කාන්තා දුක බටහිරට විකුණා ඔවුන්ගෙන් ලද ඩොලර්වලින් සුඛ විහරණ ලබමින් තව තවත් ඩොලර් වලට ඉව අල්ලන, කෙළ පෙරණ, කාන්තා සංවිධාන පාරට බසින දිනය අද යි.

ආදරයේ නාමයෙන්,ලිංගිකත්වය සූරා කන,ලිංගිකත්වයේ නාමයෙන් විකෘති ලිංගික ආශා සපුරා ගන්නා ලිංගික භාණ්ඩයක් ලෙස කාන්තාව යොදා ගන්නා සමාජයක,
ආදරයේ නාමයෙන් ලිංගික වහල් කමට ගැහැණිය ලඟ තබා ගන්නා ගෘහස්ථ ලිංගික හිංසනයට ද ලක් වන්නා වූ ද , ලිංගික වහල් භාවයේ තමා සිටින බව දැන දැනත් ආදරය යන අකුරු හතරට රැවටී තම දිවිය ම කාලකණ්නි මිනිසුන් වෙනුවෙන් දිය කර හැර, රැවටෙන බව දැන දැනත් එතනින් නොගැලවෙන,දිවිය ම වහලියක සේ සිටීමට  තරම් රැවටී , අදට පමණක් ඇගයුම් ලබන ඇගේ  දිනය යි මේ...

විවාහ සහතිකය,දරුවා,පවුල,නෑ හිත මිතුරන් ඉදිරියට දා දිවිය ම රවටා ගැහැනිය හුරා කා දිනකට සතුටු කිරීමට ඇයව රවටන දිනය අද යි.

ඉතිං රැල්ලට සියළු කාන්තාවන්ට....,

සුභම සුභ,සතුට පිරි කාන්තා දිනයක් වේවා ! යි මුනිච්ඡාවට මුමුණන දිනය අද යි.

(සැ.යු :අද ජගත් කාන්තා දිනය බැවින් මෙම සටහන තැබුව ද මෙහි අර්ථය සියලු කාන්තාවන් සුචරිතවාදින් ය, සියලු පිරිමින් අශිෂ්ඨයයන් ය යන්න නොවේ. කාන්තාවන්ගේ රැවටිලි මෙන්ම ඔවුන් වෙතින් නොයෙක් අපයෝජනයන්ට, පීඩනයන්ට ලක්වන පිරිමින් ද සමාජයේ සිටිනා බව ද කරුණාකර සියල්ලෝ ම සැලකිල්ලට ගනිත්වා.)

ජය!
අරවින්ද රත්මල්ගම.

Comments

Popular posts from this blog

මතක මිය ඇදෙන සඳ

පිරිමි නිරුවත.

බල්ලෙකුගෙ හදවත