මාගේ ප්‍රේමිය ජකරන්ද..


මාගේ ප්‍රේමිය ජකරන්ද..

ඒ වසර බොහෝ කලකට ඈත දී ය.....

එකමත් එක රටක මා
යම් ගැටුම් මත වුව
සතුටින් ගෙවු කාලයයි.

ඒ එකමත් එක රටෙහි
රැජිනක් රජව සිට
රජෙක් වෙත බලය මාරු වු කාලය යි.

කැමැත්ත අකමැත්ත,
සතුට නොසතුට මත නොව
දෛවයේ තීන්දු තීරණ මත
නොරටකට යාමට සිදු වු මොහොත යි.

මා අකමැති වුවද
මා මිත්‍රයන්ගේ ලියවිලි හරහා
යුරෝපා සංගමයට අයත්
ප්‍රංශය වෙත ගුවන්ගත වුණි.

ප්‍රංශයට පැමිණ කෙටි කලක්
රැකියා විරහිතව නීෂ්(Nice) හී රැඳී සිටිය මා හට,
ගෙන්වු අයගෙ සහයක ඇතිව
එක්තරා ඉතාලියානු සමාගමක
කුඩා රැකියාවකට උරුමකම් කිව හැකිව තිබිණි.

ඒ බොහෝ ඉතාලියානුවන් ගැවසෙන
සෙන් ත්‍රොපේ(Saint-Tropez)හී රැකියාවට බැදුණු මා හට
ප්‍රංශ බස වෙනුවට ඉතාලි බස ප්‍රගුණ කිරීමට සිදු වුයේ එසේය.

මා නීෂ්(Nice) මුහුද අසල සිටිය ද
සේන් නදියට හිතින් පෙම් කළේ
කියවා අසා තිබු දෑ නිසා ය.
මා පැරිසිය දැක ගැනීමට පැමිණියේ
ලොව සියල්ලන් පවසන
ප්‍රේමයෙන් උමතු වු පාරාදීසය සියැසින් දැකීමට ය.

නමුදු ඒ පීඩනකාරි, අතිධාවනයක යෙදෙන
ප්‍රංශ ජන සමාජය මා හට දිරවිය හැකි වූයේ නැත.
සමහර විටෙක ප්‍රංශ බස ද එයට හේතු වන්නට ඇත.
සිහින කඩා වැටුණි.
මා සිතු පාරාදීසය වෙනුවට
හැල්මේ දුවන යාත්‍රික වූ
ජන සමාජයක ජීවත්වීමට සිදු වුණි.

මෙසේ අනලස්ව සිටි මා,
ඉතාලි සමාගමේ රැකියාව කරනා අතරතුර
ඉතාලිය වෙත යාමට කැමතිදැයි
මා ප්‍රධානියා මාගෙන් විමසා සිටියේ ය.

ප්‍රංශ බස කෙසේ වෙතත් ඉතාලි භාෂාව
මේ වන විටත් යම් තාක් දැන සිටි මා, එයට එකඟ වුවද යම් දෙගඩියාවකින්
පසු නොවුවාම ද නොවේ.
ඒ එම ප්‍රේම පාරාදීසයේ අතිධාවනකාරී ජන සමාජය
මසිතේ හොල්මන් කළ නියායෙනි.

කෙසේ හෝ අට මසක් ඉතාලියේ ද
හාර මසක් ප්‍රංශයේ ද
සේවය කිරීමේ පදනම මත
මා ඉතාලියට පා තැබුවෙමි.

ඉතාලියේ සේවයට පිවිසි මා
ප්‍රංශයේ සේන් නදියට වඩා ඉතාලි ටයිබර් නදියට
පෙම් බැන්දේ එහි නිස්කලංක බව නසාම ද,
නැතිනම් රෝම අධිරාජයේ මුල වු නිසා ද,
එසේත් නැතිනම් සුප්‍රකට ඉතාලියානුවන් බිහිවූ,
ජනගත වු ස්ථානය වු නිසාදැයි මා නොදනි.
කොසේ හෝ මා ප්‍රංශයේ සේන් නදියට වඩා
අදටත් ඉතාලියේ ඒ මනරම් ටයිබර් නදියට පෙම් බදිමි.

ඉතිහාසයට, දේශපාලනයට කවදත් පෙම් බැඳි මා,
ඉතාලි ඉතිහාසය, දේශපාලනය ගැන ද
මත් වුවායැයි කීවොත් වරදක් නොමැත.
එබැවින් මා යුරෝපයට පය ගැසු, මා රැකි ප්‍රංශයට වඩා
මා ඉතාලියට ප්‍රේම කළෙමි.
ඒ ඉතාලියේ මා කැමති
ඉතිහාසය, පෞරාණික බව නිසා පමණක් ම නොව
ඉතාලියේ වන නිදහස් ජීවන රටාව නිසා ද විය හැක.

ඉතාලිය ගැන ද ප්‍රංශය ගැන ද
මතකයන් පොත් පිරෙන්නට ලිව හැකි වුවද
මේ මුල පිරුම, මා හට විදෙස් රටක වසන
මා හා දැඩිව සමිපතම වූ ඒ ළබැඳිනිය ගැන
අකුරු කිරීමටයි.

මා සේවා ස්ථානය අසල කුඩා උද්‍යානයක,
ශීත කල ඉපල්ව,
වසත් කල රෝස පැහැ මලින් සැරසෙන ඈ,
නමින් Jacaranda ය.

මා ඉතලි දේසයට ආ දා පටන් දුරකතන ඇමතුම් ගැනීමට, මැසෙජ් යැවීමට,
මුහුණු පොතට එඹි විකාර කිරීමට,
මා පිට දරා සිටියේ ඈ ය.

මාගෙ විදෙස් ජීවිතයේ බොහෝ දෑ දන්නා
මා විශ්වාසනීය වූ මිතුරිය ඇය යි.

මා කුමන දේසයකට ආ ගිය ද
නැවත ඉතාලියට පැමිණි විගස මා, ඈ වෙත ය.
මා හට කිසිදා ඈ අමතක වූයේ නැත.

Jacaranda, ඈ  මාගෙන් කිසිවක් නොපතා මා කියනා දේ අසා සිටින්නීය.
මා බොහෝ විට බොහෝ දෑ ගැන
ඈ හා දොඩමළුව ඇත.

1815 ලංකාදීපයේ රාජසිංහ රජු රජයන සමයේ
එංගලන්තයේ රජ කළ ජොර්ජ් රජු උම්මත්තකයෙකු බවත්,
ඔහු උද්‍යානයේ ගසකට තනිව කතා පැවැත්වු බවත්
ලොව දන්නා සුප්‍රසිද්ධ කරුණකි.

එය සිහි වන විට මා ද
උම්මත්තකයෙකුදැයි වරක දෙවරක
මා හට නොසිතුණා ම නොවේ.
නමුදු බොහෝ අය හට අප පවසනා දෑ නොතේරෙනා විට හෝ
නීරස යැයි දැන වූ විටෙක හෝ
පැවසීමට කෙනෙක් නොමැති ව තනි වූ කලෙක
නිහඬව සියල්ල අසා සිටින
ගසකට පැවසීම උමතුවක් වන්නේ ද?

එසේනම් මා එම උමතුවට පෙම්බඳිමි.

දිනකට දෙවතාවක් Jacaranda දැක ගැනීමට යන මා
මාගෙ දුක සතුට නිරතුරු ඈ හට පැවසීමට
කිසිවිටෙක පසුබට නොවේ.
මන්ද ඈ කිසිඳු මැසිවිල්ලක් හෝ නොනඟා
මා කියනා සියල් දෑ
නිහඬව අසා සිටින්නී ය.

ඈ මා සිනා අඳුනන්නී ය.
ඈ මා කඳුළ අඳුනන්නී ය.

මා කියන්නක් අසා සිටිනා ඈ,
සුළං රැල්ලක් දවටා මල් පියලි
මා හිස වට්ටවා,
නොසැලි මා පිට දරා සිටිනවා විනා
මා හැර නොයන බවට  සපත කර
ආත්මීය බැඳීමක වග කියන්නී ය.

ශීත කල මල් කොළ හැලී ඉපල්ව ගිය ද
මා ද කිසිදා ඇය හැර නොගියෙමි.

ඉදිරියට ද එය එසේම ය.
අප, අපව අත්නොහරින්නෙමු.

ඈ කනාටුව කිරීගැහෙනා සීතල දරා හිදින්නී ය.
වසත් කල මල් වරා හිනහෙන්නී ය.

ඔව්...ශීත කුනාටු මග හැරී යන බව මා අත් දැක ඇත.
ඉණික්බිති වසන්තය උදා වන බව මා දකිමි.

ශිත කාලයේ  කනාටුව ගිය ද
මා වෙත සවන් දෙන ඈ,
වසත් කල මලින්, මා සනහන්නී ය.

ඈ මට ජීවිතය උගන්වන්නී ය.

ඇය ද මා හැර නොයයි.
අපගේ ආත්මීය බැදීම එය යි.

බොහෝ සබදතා එකිනෙකා මත වන   ගණුදෙනු, ව්‍යාපාර වන කලෙක,
ඈ කිසිවක් මා වෙතින් නොපතයි.

මා ද  ඇගෙන් කිසිවක් නොපතමි.
ඇය මලින් පිරුණ ද
මල් හැලි නාටු වුව ද
මා ඇය හා පෙමින් බැඳි සිටිමි.

ඇය ද කිසිදා මා හැර නොයනු ඇත.

ඔව්...Jacaranda හා මා අතර ඇත්තේ එවන් සබඳකමකි.

දිනක මා මාගෙ මව්බිමට පැමිණේවි....

එදිනටත් මේ ආදරණීය පෙම්බරිය
උපේක්ෂාවෙන් මා දෙස බලා සිට
මට සුභ පතනු ඇත.

මා ද කිසිදා ඇය අමතක නොකරමි.

මට ජීවිතයේ ප්‍රේමණීය වු
ජීවන පාඩම් උගන්වා
මට ජීවිතය මේ යැයි කියා දුන්
මා ප්‍රේමණීය රැවැත්තිය, Jacaranda,

ඔබෙන් මා උගත් දෑ අන් අය හා බෙදා ගැනීමට
අවසර දෙනු මැනවි...

ඉදිරියට මා මෙසේ ඔබ ගැන අකුරු කර
ලොවට නොවලහා පවසමි.

ඒ ඔබ නිහඬව නොසැලි
මා දෙතින් කිසිත් නොපතා
මා හට ලබා දුන් මහඟු දෑ වෙනුවෙන්
මට දිය හැකි උපරිම ගෞරවය ලෙස ද සලකමි.

ඉතිං මා ප්‍රේමිය........

ඔබට මා සදා පෙම් කරමි....
මගෙ දුක සැප විද දරා
මා ඔබ සමඟ කතා කරනා සෑම විටක දීම
මා නොසලකා නොහරමින්
එය මහා වදයක් ව ඝෝෂාවක් ව ලෙස නොගනමින් ඉවසා සිටිමින්
ජීව්තයේ වග මට කියාදීම වෙනුවෙන්
කෘතඥ වන මා හට දිය හැක්කේ වෙන කුමක් ද...

ඔබ මාගේ සාංසාරික ප්‍රේමයැක්මැයි 🖤

ජය !
අරවින්ද රත්මල්ගම.

Comments

  1. කවුරු උනත් ඔබ සුන්දර මනුස්සයෙක්.ඔබ jacarandata පෙම් බැඳී සුන්දර ආදරවන්තයෙක්.ඔබ අකුරු කරන වචන
    බොහෝ දෑ බලන පාඨකයෙක් විදියට මේ සටහන බලද්දි මටත් ඔබ වැනිම මෙවැනි අත්දැකීමක් තියෙන මනුස්සෙක් මුණ ගැහුනා.ඔහු අපේ රටේ ප්‍රසිද්ධ මාධ්‍ය ජාලයක නිවේදකයෙක්.ඔහු ගම අතහැර කොළඹට ආ දින සිට නගරයේ උස් ගොඩනැගිලි වලින් වටවී තිබෙන අඹ ගසකට කතා කරනවා .ඔහුගේ දුක වේදනාව කියන්නෙ අදටත් ඒ ගසට.ඔහු ඒ ගසට කොතරම් ආදරෙයිද කිව්වොත් යම් හේතුවක් මත ඒ ගස කපා දැමුවොත් ඔහු තම රැකියාවෙන්ද ඉවත්ව ගමට යන බව පවසනවා.ඔහු එතරම්ම ඒ ගහට ආදරෙයි.ඔහු සිතන්නේ ඒ ගස වගේම ඔහු ශක්තිමත් විය යුතුයි කියලා.මිනිස්සුන්ට සෙවනක් දෙන මිනිස්සු වෙනුවෙන් බොහෝ කැපවීම් කරන ඔහු ඒ ගස වගේම ශක්තිමත් ඵලදායි මිනිසෙක්.

    ඔබත් ඒ වගේ ගහට කොලට ආදරය කරන උතුම් මනුස්සෙක් කියලා මේක කියවද්දි දැනුනා.ඇත්තටම ගහ කොල අපිට කොයිතරම් ලෙංගතුද? අපිට කේන්ති යද්දි , අපිට දුක හිතෙද්දි නිහඬව අපේ දුක බෙදාගන්න, අහන් ඉන්න මිනිස්සු අද සමාජයේ අඩුයි.අපි තනි උනාම අපිට කතා කරන්නේ නිහඬ ගහකොල පමණමයි.මාත් ගහට කොලට ආදරය කරන කෙනෙක් විදියට මං හිතන්නෙත් අපිට ඉන්න හොඳම මිතුරෙක් ගහ කොල කියන්නේ.

    කොහොම උනත් ඔබ අද jacaranada නිසා සතුටින්.ඔබ jacaranada නිසා දිරිමත්.ඔබේ jacaranada ට අපිත් ආදරෙයි.ඔබ jacaranada ට ප්‍රේම කරමින් අපිට දුන්න ආදර්ශමත් පණිවුඩය ඊටත් වඩා අගනෙයි.


    - නිල්මිණි වීරරත්න -

    ReplyDelete
  2. ඒ උමතුවට මාත් පෙම්කරනවා....❤️
    ඔයාට වගේ ජකරන්දියක් නැති වුණාට මගේ මිදුලේ මල් ගහ කොළ එක්ක මුණුමුණුගාන්න තරමට පුංචි කාලේ ඉදන්ම මාත් උම්මත්තකයි.
    අදටත් මගේ තිත්ත බෙහෙත් ටික බොන්න බැරි වුණාම එයාලට පෙත්ත් පෙත්ත බෙදලා දීලා මට හිනා වෙන්න ලස්සන මල් ඉල්ලනවා....ඔව් එයා මගේ හිත රිද්දන්නෙ නෑ කවදාවත්...🙂

    ඔයාගේ සටහන හරිම ආදරණීයයි....
    ඒක මාව ගොඩාක් සංවේදී කළා...
    මාත් කාගේදෝ ජීවිතයක ජකරන්දාවක් දෝ කියලත් හිතුණා...🙂


    ඔයාගේ ලියමන් හරි අපූරුයි.
    ඔබට ජය!

    ReplyDelete
    Replies
    1. ස්භා දහමට පෙම් කල යුතුමයි අප...ජය..

      Delete

Post a Comment

Popular posts from this blog

මතක මිය ඇදෙන සඳ

පිරිමි නිරුවත.

බල්ලෙකුගෙ හදවත