මං ඉතාලියේ තනිවුනා...


මං ඉතාලියේ තනිවුණා....

ඉතාලිය....,
කලකට පෙර ලාංකේය තාරුණ්‍යයේ සිහිනයක් විය.
නීත්‍යානුකූල නොහැකිනම් නිත්‍යානුකූල නොවන අයුරින් එකල  ඉතාලියට තරුණ පිරිස් සංක්‍රමණය වුයේ
තම සිහින සැබෑ කරගැනීමට මිල්ලෙ සොයා ය.

පසුව මිල්ල, යුරෝ වූ අතර සංක්‍රමණය එලෙසම සිදු වුණි.
ඉතාලිය, ලංකාව තුල කෙතරම් ජනප්‍රිය රටක් වී ද යත්
පුංචි ඉතාලිය ලෙස හඳුන්වන පළාත් පවා ලංකාවේ බිහි ව ඇත.
ඒ කතෝලික පල්ලි ගහණ ඉතාලි පාරිසරික හුරුව හා
එදා මිල්ල සොයා ඉතාලියට ආ ගිය බොහෝ අය වෙසෙන නිසාවෙනි.

ඉතාලිය ආශ්‍රිතව චිත්‍රපට, නාට්‍යය, ගීත බොහෝ බිහි ව ඇති අතර
කලකට පෙර එය රැල්ලක් ව ප්‍රචලිත විය.

නමුදු අද වන විට ඉතාලියත් එහි වසන ලාංකිකයිනුත්
කොරෝනා වෛරසය හේතු කොටගෙන දැඩි ආතතියකින් පෙළන බව අප දනිමු.

සිහින පාරාදීසය වූ ඉතාලිය,
අද මෙලෙස රෝගීව දැඩි අපහසුතාවයකට පත්ව ඇති මොහොතේ
ඉතාලිය සම්බන්ධ ගීතයක් ගැන සටහනක් තැබීමට සිත් විය.

අද ඉතාලියේ තනි වූ අපගේ හදවත්වලට දැඩි සංවේදී මෙම ගීතය,
ධනපාල උඩවත්තයන්ගේ වු ද මෙය වඩා සංවේදී වූයේ,
ඔහුගේ පුත් ගයාන් උඩවත්තගේ ගායනය හේතුවෙනි.

තම පෙම්වතා පෙම්වතියන් ලංකාවේ සිටිය දී මෙම රට තුල හිර වී
දිනෙන් දින සිදුවන මරණ හා හමුවන වැඩි රෝගීන් ප්‍රමාණයත් දෙස
දැඩි සංවේගයෙන් බලා සිටින හදවත් මොහොතකට ගොළුකරලීමට මෙම ගීතය සමත්විය.

නමුදු අද ගීතයට වඩා මා මෙම අති සුන්දර ඉතාලියේ විස්තර සමඟම මෙම සටහන තබමි.

මං ඉතාලියේ තනිවුණා....

ලාංකීය ගිත ඉතිහාසය බැලු කල වැඩි ම ගීත ප්‍රමාණයක් ප්‍රේමය මුල් වී ලියවි ඇති බව අප දනිමු.

ඒ අතර වෙනත් මාතෘකා ඇති ගී ලියවුණ ද මෙම ගීතය කාලීන ව ජනප්‍රිය වුවා පමණක් නොව විදෙස්ගත ලාංකිකයෙකුට විශේෂයෙන් ඉතාලියේ වෙසෙන්නෙකුගේ හදවත කීරිගැසි, ඉකිබිඳුම් ලෑමට තරම් සංවේදී විය.

ඉතාලියේ වැදගත් ස්ථාන ගැන සඳහන් කරමින් ලියා ඇති මෙහි එම නගරවල වැදගත්කමත් මා එම බොහෝ නගර දෑසින් දැක ඇත්තෙකු ලෙසත් එහි වැදගතකමත් දැනුවත් කරමින් එම ගිය ගැන සටහනක් තබන්නට සිතුණි.

මං ඉතාලියේ තනි වුණා....

වේග රිද්ම ගීයක් වුව ද සැබෑ ලෙස ඉතාලියේ සේවයෙ නියුතු අයෙකුගේ දෑසට කදුළු උනන අරුත් මත ලියැවුණ ගීතයකි.

බොහෝ ජනප්‍රිය ගී ගයන ධනපාල උඩවත්තයන් විසින් ගායනා කරන මෙම ගිය එතුමා ඉතාලියේ මසක සංචාරයක් සිදුකළ අතරවාරයේ ලියූ ගීයකි.

ධනපාල උඩවත්තයන් වේග රිද්මයෙන් ගැයු ගීතය තරුණ හදවත් දැඩිව වෙලා ගත්තේ ඔහුගේ පුතණුවන් විසින් නව්‍යකරණය කළ ගීතය ශෝකය, ප්‍රේමය දනවන ලෙස නැවත ගැයු නිසා බව අප හැඟීමයි.

සිරිතසා සිසිලියා දුපතේ කතානියා..
ජෙනොවා මෙශිනා ඔබට මා රැවටුණා..
වෙරොනා මරීනා කර්මෙලා තෙරේසා..
ප්‍රොන්තො මං ඉතාලියේ තනිවුණා..
කානො මං ඉතාලියේ තනි වුණා..

මෙහි සිරිතසා ලෙස සඳහන් වුවත් එය සිරිකුසා විය යුතුය.මෙම සිරිකුසා සහ කතානිය යන නගර පිහිටා ඇත්තේ සිසිලිය නම් වු දුපතේ ය.දකුණු ඉතාලියේ ඇලි ඉතාලියට අයත් විශාල ම දුපත මෙයයි.

සිරිකුසා අප බොහෝ දෙනා නොදන්නවා වුව ද ආකිමිඩිස්වනම් පාසල් යන කුඩා දරුවන් පවා දන්නා කෙනෙකි.ආකිමිඩිස් ස්නානය කරමින් සිටිය දී නිර්වස්ත්‍රව පාරේ දිව ගිය නගරය මෙය වන අතර ඔහුගේ මහ ගෙවල් ද මෙහි පිහිටා ඇති අතර අද එය කෞතුකාගාරයක්ව පවති.

සිසිලිය, ඉතාලියට සුවිශේෂි වන්නේ ඉතාලියට අයත් සුවිසල් ම දුපත නිසා ම පමණක් නොව මහා දාර්ශනික පයිතගරස් තමා උපන් ග්‍රීසිය අතහැර මෙහි පැමිණි ඇති අතර මේ ආසන්න වෙරළක දී මැරුම් කෑ බව ද සඳහන් වේ.

දේශගුණය අතින් ද වැඩි ම හිරු එළියක් ද දුපතක් නිසා උෂ්ණත්ව පලෙනයක් ද ඇති මෙහි මාෆියාකරුවන්ගේ ද මුලාරම්භක ප්‍රදේශය ලෙස සලකයි.

සැවොම දන්නා එත්නා ගිනිකන් ද පහිටා ඇත්තේ ද මෙම දුපතෙ කතානිය නගරයට ආසන්නයේ ය.ලොව ම මවිත වන සැබෑ ලස්සනකින් පරිපුර්ණ මෙය දැක බලාගැනීමට ලොව නන්දෙසින් ජනයා කතානියා වෙත ඇදි එයි.මෙය සක්‍රීය වූ කලක ගිනිපුපුරු විසිරෙනු ද මා දෑසින් දැක ඇත.

රාත්‍රියේ මනරම් බව පැවසීමට වචන නැත.අප එයට පෙම් කරන්නෙමු.එය සැබෑ ප්‍රේමවන්තයෙකු තමාට හිමිකර ගත හැකි වේවිදෝ අහිමිවේවිදො දැඩි භීතියකින් විවාහක ලදකට පෙම් කරන්නා සේ ය.

ගින්දර බව දැන දැනත් අප පෙම් කරමු. මෙම ගිනිකන්දට පෙම්කරන උන් එය පුපුරා ලෝදිය ගලා ගිය හොත් දැවි අළුවි යන බව දැන දැනත් එයට වශිකෘතව පෙම්කරති  එය හැරදා නොයති එය ඉහත මා උපහැරණ කළ  ප්‍රේමය හා සම නොවේද ?

ජෙනොවා, උතුරු ඉතාලියේ පිහිටා ඇති සුන්දර නගරයකි. මරීනා, ඒ අසල ම තවත් කුඩා මනරම් නගරක් වේ.ඉතාලියේ වෙනත් සුවිශේෂි දෑ ගැන සලකා බැලිමේ දී සුවිශේෂිත්වයක් නැතත් සංචාරයට සුදුසු මනරම් නගර ලෙස මෙම නගර  හඳුන්වා දිය හැක.

සිරිකුසා, කතානිය, සිසිලිය පමණක් නොව ජෙනොවා, මෙෂිනා නගරවල අලංකෘත භාවයට මා වශී වුයේ හරියට පෙමිවතෙකු ආලයෙන් මත්ව පෙම්කරන්නා සේය.

කර්මෙලා හා තෙරේසා, මේ ඉතාලියේ සාන්තුවරියන් වේ.මොවුන් නමින් වසරෙ දින වෙන්කර ද ඇත. මොවුන් නමට කැප කළ පල්ලි පවා ඇත.ඉතාලියේ සෑම නගරයක ම සුවිසල් අහස්කුස සිපගන්නා දැවැන්ත පල්ලි පිහිටා ඇති අතර ඒවායේ උසස් මනරම් ගෘහ නිර්මාණ ශිල්පය දැක ගැනීමට, ඕනෑ ම ආගමක අයෙකු එම පල්ලි දැක බලාගැනීමට දැඩි කැමැත්තක් දක්වයි.

ප්‍රොන්තො මං ඉතාලියේ තනිවුණා.....
ප්‍රොන්තො ලෙස අර්ථ කිපයක් දැක්විය ද හැක.  දුරකතන ඇමතුමක දී hello ලෙස අප ආරම්භ කරන්නා සේ භාවිතා කළ ද එහි නියම අරුත සුදානම් ලෙස ගත හැක.එය නිතර භාවිතා වන වචනයක් නිසා අර්ථය නොසලකා යෙදුවා විය හැක.කොමො යනු ද නගරයක නමකි. ගීතයට ගැලපෙන ලෙස මෙම වචන භාවිතා කරන්නට ඇති.

නමුදු මේ සුන්දරත්වය කෙතරම් ඉහළ වුවද පාලුව තනිකම මෙවායින් මකාලිය නොහැක.මොන දේ තිබුණත් මා ඉතාලියේ තනි වි ඇත.

පෑදුවා මෙත් පිලේ සේදුවා පවු ජලේ..
පාදුවා පල්ලියේ අන්තොනි මුනි දිලේ..
බ්‍රේශියා නගරයේ රෝස කුසුම පල්ලියේ..
රෝම වතිකානුවේ සිහින දේවතාවියේ..
ඉතාලියේ පිසා කුලුණ හමු වුණා..
හරි ම ලස්සනයිනෙ මම පුදුම වුණා..

පාදුවා පල්ලියේ අන්තොනි මුනිදුන්ගේ බොහෝ හාස්කම් පවා ඇති බව කතෝලික මතය යි.ඔවුන්ගේ ආගමානුකූලව පව් සේදීමට මෙහි යන බොහෝ ලාංකිකයන් ද දැක ගත හැකි අතර මැයි පළමු දින ලාංකිකයන් එහි යන දිනය වන අතර එදින ලාංකිකයන්ගෙන් පිරි ඉතිරි යයි.

රෝස කුසුම පල්ලිය ද එසේමැයි ඉතාලිය යනු පල්ලිවලින් ගහන රටකි. සියලු නගර තුල සුවිසල් පල්ලි දැක ගත හැකි වුවද සුවිසල් විශේෂිත පල්ලි ඇති අතර රෝස කුසුම පල්ලිය ද එසේමය. දේව මැණියන්ගෘගේ හාකම් වැනි කාරණා නිසා සංචාරක ආකර්ෂණය දිනා ඇති මෙය ද මනරම් පල්ලියක් වන අතර විශාල සංචාරකයන් පිරිසක් නිතර ගැවසෙන පල්ලියකි.

වතිකානුව ගැන කිව යුතු නොවේ. මුළු ලොවෙහි ම කතෝලික ප්‍රධාන පාලන ආයතනය වන මෙය පාප් වහන්සේ වැඩ සිටින විචිත්‍ර චිත්‍රකලාවෙන් ද මෙතෙක් සාන්තුවරු වු පාප්ලාගෙ දේහයන් ද ඇති ඉතාලියේ වැඩි ම සංචාරකයන් යන සහ ඉතාලියට යන ඕනෑ ම අයෙක් යන සහ යා යුතුම ස්ථානයක් වන මෙහි මයිකල් අන්ජලොගේ දක්ෂකම දැක බලාගත හැකි ප්‍රධාන ස්ථානයකි මේ.

පිසා කුළුණ ලොව පුදුම හතෙන් එකක් බව අප දනිමු. ඒ ගැන වැඩිදුර පැවසිය යුතු නොවන්නේ පිසා කුළුණ ගැන අප වෙනම සංචාරක සටහනක් පෙර පලකර ඇති නිසාවෙනි.නමුත් මේ ලස්සනට මා පුදුම වුණ බවනම් සැබෑවකි.

මේ සෘතුවේ මිලානො සීතලයි..
ඒ සීතලෙ ඔයා නෑ හිතපෙලයි..
ධුම පල්ලියේ දේව හාස්කම් රැසයි..
ඇසින් දුටුවනම් ඔබ උනත් එය සිතයි..
එත්නා ගිනි කන්ද ඇවිලුනා..
හිත නිවාගන්න තවම බැරි වුණා..

මිලානො යනු සීත කල දැඩි සීතලක් ඇති ප්‍රදේශයකි  ඉතාලියේ කුමන නගරයක සිටියත් සමකය ආසන්නයේ රටක ඉපදි හැදි වැඩුණු අපට එය දැඩිව දැනේ.

ඒ සීතලට වඩා ඔබ නැති දුක, ශෝකය, වේදනාවෙන් මා පෙලයි.ධුම පල්ලිය යනු ඕනෑම නගරයක පිහිටා ඇති ප්‍රධාන පල්ලියට වේ. ඒ පල්ලිවල දේව හාස්කම් බොහෝ වේ.ඔයා ඒවා දැක්කනම් විශ්වාස නොකර ඉන්නෙ නැ.

ඉහත සඳහන් එත්නා කන්ද ඇවිලුනත් දැඩි සීතල හැමුවත් ශරිරයට කෙතරම් පිඩා දැනුනත් ඔබ නැති වේදනාව පීඩාව තරම් ඒවා මට නොදැනේ.

මගෙ හිත නිවා ගත නොහැකිය. සොදුරිය, ඔබ නැති පාලුව මා කෙසේ දරම් ද?
මගෙ තනිකම ඔබට නොපෙනේ ද?
මා ඔබට මත් වි ඇති සැටි ඔබට නොතේරේ ද?
සියල්ල හිමි මා මට අවැසි ම දේ ඔබ නොමැතිව මා දැවෙන බව ඔබට පසක් වේ ද?

මාගේ හිත නිවා ගත නොහැක.මේ වේදනාවන් මා කවදා වන තුරු ඉවසන්න ද?

බොහෝ පිරිස් මැද මා තනිව ඇත.මගේ හිත නිවාගත නොහැකිව ඇත.

මා ප්‍රියාවිය....,

සියල්ල හිමි මා...,

ඔබ නොමැති ශෝකයෙන් දැඩිව පීඩා විදී.

මාගේ හිත නිවාගන්න තවම බැරි වුණා. එය නිවාලිය හැක්කේ ද ඔබට ම පමණි.

ප්‍රොන්තො මං ඉතාලියේ තනි වුණා.

චාවො මං ඉතාලියේ තනිවෙලා....(චාවො = මම යන්නම් )

අල්ලොරා මම ඉතාලියේ තනි වෙලා....(අල්ලොරා = ඉතිං )

ඔව්. මං ඉතාලියේ තනි වී ඇති බව ඔබ හැර කවුරුන් දනි ද?

ජය
අරවින්ද රත්මල්ගම________✍️


Comments

  1. ඔයාගේ ලිවීම තුලින්
    නොදන්නා ඉසව්වක වග තුග දැන,
    අහනකොට ගීතයේ රස වැඩියෙන් දැනෙනවා.

    එයට ගොඩාක් ස්තූතියි...

    නමුත් මේ කාලවකවානුවත් එක්ක,
    ඔයා වගේම නොරටක තනිවෙච්ච
    අපේම ඈයෝ ගැන දුකයි.
    ඔබේ සටහන, සුන්දරත්වය හා යා වුණ
    ඒ සංවේදනය හිතට තදින්ම දනවනවා.

    ඒත් පරිස්සමින් ඉන්න කියන්න විතරයි
    දැන් අපිටත් පුළුවන්.

    දුරක උන්නත් ඈ ආදරේ ළඟ
    ඔබ තනි නොවේවි...

    ඔබට ජය!


    ReplyDelete

Post a Comment

Popular posts from this blog

මතක මිය ඇදෙන සඳ

පිරිමි නිරුවත.

බල්ලෙකුගෙ හදවත