නිරොධායනයට නිවසක්..

ඉතාලියේ වසන ශ්‍රි ලාංකිකයෙක්
ලංකාවේ තම නිවස නිරෝධායන මධ්‍යස්ථානක් ලෙස
රජයට ලබා දෙයි.
----------------------------------------------------------

'දකුණත දුන් දේ වමත දැනගත යුතු නොවේ.'

මේය සියලු ආගමික නායකයන් ද ලොව පහළ වු විශිෂ්ට දාර්ශනිකයන් ද පැවසු වදනක් වුව ද අද එය එසේ සිදුවනවා ද යන්න සිතා බැලිය යුතුය.

ලොව covid 19 නමැති යක්ෂයා ගිල ගනිමින් දැඩිව අසරණ කර ඇති මොහොතක ලෝක බලවතුන් එය මර්ධනයට ධනය ශ්‍රමය තාක්ෂනය යොදා ගනිමින් සුවිසල් සටනක යෙදෙන බව පෙනෙන කරුණකි.

ලංකාවට ද මෙය දැඩි ව බලපා ඇති අතර වෙනදා මෙන් ලක් වැසියන් කණ්ඩායම් බෙදි මරා ගැනිල්ල කිසිඳු වෙනසක් නැත.

ලොව කොතනකවත් දැකිය නොහැකි ලෙස සැක සහිත පුද්ගලයන් සොයා ගොසින් නිරෝධායනයට ලක් කරමින් රජය කටයුතු කිරීම ද පැසසිය යුතුය.

රජයක් එසේ කටයුතු කරනා විට පුරවැසියන්ගෙ ඔලු ගෙඩි තුලට මෙය ජාතික ව්‍යවසනයක් ය යන මතය තවමත් කිදාබැස ඇත්දැයි සැක සහිත ය.

පසුගිය දා ඉතාලියේ සේවය කළ එක් පුද්ගලයෙකු රෝගය ඇතිබව දැන දැනත් එය සඟවා රට තුලට පැමිණීම,නිරෝධායනයට විරුද්ධ පිරිසක් ආරක්ෂක අංශ හා ගැටීම වැනි කාරණා දඩමීමා කර ගනිමින් සමහරු තම පුද්ගලික වෛරි මත ද මුහුණු පොත හරහා මුදා හල බව අප දුටිමු.

අද එය ජාතිවාදි වෛරී ප්‍රකාශ කරන තැන දක්වා විහිද ඇති සැටි ද දැඩි කණගාටුවෙන් වුව කිව යුතුය.ඒවා ද දේශපාලන ගේම් බව පුරවැසියා කවදා අවබෝධ කර ගනි ද?

කරුණු එසේ තිබියදි ඉතාලියේ වෙසන අයෙකු තම නිවස රජය වෙත නිරෝධායනය කටයුතු සඳහා බාර දුනි.

ඒ ඉතාලියේ වසන සියල්ලන් නූගතුන්, බෝට්ටුවෙන් පැමිණි උන්,ලැට් සෝදන්නන් යන කුහක පදනම් විරහිත චෝදනා බිඳකට හෝ මායිම් නොකරවීමයි මෙහි වැදගත්කම.

එමෙන්ම පසු ගිය දිනෙක ඔස්ට්‍රේලියාවේ වෙසෙන මා හිතවත් ලේඛකයෙකුට අපහස කර තිබුණේ ම ලිවීමනම් හොඳයි රට ඉදන් ලංකාව වෙනුවෙන් මොනවා ද කළේ යන්න යි.

මා,බුද්ධිමත් හිතවතා එවන් තැන්හි පිළිතුරු නොදුන්න ද ඔහු කළ සේවාවන් දන්නෝ දනිති.

බොහෝ විදෙස්ගත ලාංකිකයන් මෙසේ අප්‍රසිද්ධියේ මව් රට වෙනුවෙන් කරනා සේවයන් බොහෝ උන් නොදනිති.

කෙසෙල් ගෙඩියක් දන් දි මාධ්‍ය ප්‍රචාර දෙන රටක,බත් පැකට් එකට, ටකරන් ටිකට, අරක්කු ටිකට වහල් දේශපානයක නියැලෙන සමහර  ගැත්තන් සිටින රටක මෙය නුහුරු බව සැබෑ ය.

මන්ද උන් පුරුදුව ඇත්තේ රුපියල දහයක් දන් දී සෙල්ෆි ගසා මුහුණු පොතේ පොරක් වීමට ය.

නමුදු රූපය, නාමය නොව තම ක්‍රියාව වැදගත් සහ උතුම් යැයි සිතන බොහෝ ජාතිමාමක පිරිස් ඇති බවට මෙය හොඳම නිදසුන නොවන්නේ ද?

තමා දුක් මහන්සියෙන් උපයා ගත් මුදලින් අනාගතයේ ජීවත්වීමට ගොඩනැඟු මේ සිහින මාලිගාව,

නිරෝධායන කටයුතු සඳහා රජය වෙත නොමිලේ ලබා දුන්නා පමණක් නොව එහි ජල විදුලි බිල් පවා තමන් දරනා බවට කැමැත්ත පල කර සිටි.

වැදගත් ම  වන්නේ, දිනකට 1000 ට ආසන්න පිරිසක් මියැදෙන රටක ජීවත්වෙමින් අවධානම හිසදරා ගෙවල් තුල සිරවී සිටිමින් තම ආතතිය නැති කර ගැනීමට ම මුහුණු පොත වෙත පැමිණි කල ඉතාලියේ වසන අය හට දැඩිව පහර ගසද්දී ඒවා සාමාන්‍ය මිනිස් ගති ලෙස සලකා බැහැර කිරීම නොවේද?

ලොව සෑම තැනක ම තම පුද්ගලිකත්වයට එහා සිතමින් මනුෂීය හැඟුම් පිරි, පිරිස් සිටිති.

ඔවුන් ප්‍රසිද්ධිය බලාපොරොත්තු නොවෙති.පොරක් වීමේ කිසිඳු පොර මානසිකත්වයක් නොමැත.ප්‍රසංසාවට උද්දච්ච නොවෙති. විවේචනයට නොසැලෙති.ඔවුන් මෙලොවට පහළ වන්නේ ලොවේ මනුෂ්‍යය වර්ගයාගේ පිනටයි.

අප ඔවුන් අගය කළ යුතුය.එමෙන්ම යම් පුද්ගලයෙක් පුද්ගල කණ්ඩායමක් ළ දෙයකට සමූහිකව පුද්ගල වෛරි අදහස් පතුරමින් ප්‍රහාර එල්ලකිරීම වෙනුවට සම සිතින් බුද්ධිමත්ව කරුණු කාරණා වටහා ගත යුතුය.

මෙය ලිවීමට මා පෙලඹුවේ ද ඒ කාරණාවම යි.නැතිනම් මෙම කාරණාව ප්‍රසිද්ධ කිරීම නොවේ.ලොව කොතනක සිටියත් උපන් බිමට කැක්කුම ඇති උන් සිටිති.රට ට සේවය කිරීමට රට තුල ජීවත් විය යුතුයැයි සිතන මන්ද මානසික හීනමානයෙන් අප මිදිය යුතුම ය.

සේවයක් කිරීමෙන් ප්‍රසිද්ධිය බලාපොරොත්තු නොවෙමු.අනෙකා කළ සේවය හෝ අනෙකා කවුදැයි සොයා බලනවාට වඩා තම යුතුකම හැකි පමණින් ඉටුකිරීමට වග බලා ගමු.

ජය!
අරවින්ද රත්මල්ගම.

Comments

Popular posts from this blog

මතක මිය ඇදෙන සඳ

පිරිමි නිරුවත.

බල්ලෙකුගෙ හදවත