නැවක් පෙරලු පෙමක්.

නැවක් පෙරළු පෙමක්.....

ඒ 2012 වර්ෂය යි. මා ශ්‍රි ලංකාවෙන් පිටත්වු පසු ලක්බිමට පය නොතැබූ කාලය යි.නමුදු වසරකට ලැබෙන නිවාඩුව ලබාගැනීමට මා නිතර උත්සුකවන්නේ ඒ නිවාඩු කල සංචාරය කළ හැකි බැවිනි.මන්ද සංචාරය, මාගේ ප්‍රිය විෂයයක් බැවිනි.

යුරෝපයේ ග්‍රීෂ්ම සෘතුවේ මුහුදු සංචාරය සියල්ලන්ට ප්‍රිය කාරණයකි.2011 මා එසේ කළ සංචාරයක දී හමු වූ මිතුරෙකුගේ ආරාධනාවකට 2012 නිවාඩුවෙන් වැඩි හරියක් ඔහුගේ පවුලේ අය සමඟින් මධ්‍යම ඉතාලියේ දුපතක මා නිවාඩුව ගත කළෙමි.

ග්‍රීෂ්මයේ මුහුදේ නෑම ප්‍රිය වුව ද මා 2012 ජනවාරි නිවාඩුව ලබා ගත් බැවින් නෑම කෙසේ වෙතත් මුහුද මැද දුපතක දැඩි ශීතල දැනෙන බැවින් රාත්‍රියේ නිවසින් පිට කිසිවෙකුත් නොයන්නෙමු.

ඒ 2012 ජනවාරි 13 වෙනිදායි.අප 6 දෙනෙකු නිවසේ සිටි අතර 4 දෙනෙක් කාඩ් ක්‍රීඩාවේ ද මා සහ මා මිතුරා චෙස් ක්‍රීඩාවේ ද යෙදී නින්දට යාමට සැරසුන මොහොතයි.
රාත්‍රි 11 කනිසම පසුවී තිබූ බව මට හොඳ හැටි මතකයේ ඇත.

පුදුමයකි..!

වෙනදා නිශ්චල මුහුදේ නැවක් නලා පිඹින හඬ මෙන්ම නැවක බොට්ටුවක එළිය හැර ගණ අන්ධකාරයෙන් පිරෙන මහා සාගරය දෙසින්, විශාල ලෙස හෙලිකොප්ටර් යානා පියාඹන හඬ ඇසුනි.

මට පමණක් නොව එහි වාසය කරන නිවැසියන්ට ද අරුමයක් වූ බැවින් අප සියල්ල දැඩි ශීතලේ වුව නිවසින් එළි මහනට පැමිණියේ සිදුව ඇති දේ බැලීමට ය.

ඇස් අදහා ගත නොහැක.
දළදා කරඬුව පිට තබා ආඩම්බර ගමනින් යන මහා හස්තියා සේ වෙනදාට නලා හඬ පිඹිමින් ගමන් කරන අති විශාල නෞකාවක් ගමන් නොකරම එක තැන නැවතී ඇත.

විශේෂ පොලිස්, වෙරළාරක්ෂක වැනි නොයෙක් හෙලිකොප්ටර් යානා නැව වටා කැරකේ.
කුඩා බොට්ටු ලහි ලහියෙ එගොඩ මෙගොඩ යයි.
පුදුමයෙන් බලා සිටි අප හට නිරීක්ෂණය කිරීමේ දී දැක ගත හැකි වුයේ මේ දැවැන්ත නෞකාව අනතුරකට ලක්ව පෙරෙළෙමින් පවතින බවයි.

එළිවෙන තුරු බලා සිටි අප පසු දින සුදො සුදු මහා චෛත්‍යරාජයෙකු සේ මුහුදේ ඇලවි අනතුරට පත් නෞකාව දැක ගත් අතර අනතුරට හේතු පවා සොයා බැලු අතර, එහි දී මා සටහන් කරගත් දෑ යළි මතකයට ආවර්ජනය වූයේ මා මෑතක  දුටු ඡායාරූපයක් නිසාවෙනි.

එය ලොව  සුවිසල් මඟී  නෞකා අනතුරක් මෙන්ම මා දෑසින් දුටු මගේ දිවියේ ද වැදගත් අමතක නොවු සිද්ධියක් බැවින් එහි විස්තර මෙසේ සටහන් තබමි.

සාමාන්‍යයෙන් යුරෝපයේ බොහෝ අයවළුන් නාවික සංචාරයට ප්‍රිය අතර ඒ සඳහා සුවිසල් නෞකා ද සියලු සැප සම්පත් සහිතව නිමවා ඇත.

ඉහත සිද්ධියට මුහුණ පෑ නෞකාව ද එසේ අති දැවැන්ත නෞකාවකි.දිගින් මීටර් 290 ක් ද පළලින් මීටර් 35.5 ක් ද උසින් මීටර් 70 ක්ද වන මේ දැවැන්තයාගේ බර ටොන් 1140 වේ.

ඇතුළත ආපන ශාලා කිහිපයක්, නාට්‍යංගනයක්,  ක්‍රීඩා පිටියක්, නාන තටාක කිපයකින් සමන්විත මිහිපිට සුර පුරකි.

මහල් කිහිපයකින් සමන් විත මෙහි ඉහළ පහළ යාමට විදුලි සෝපානයන් ද  පවා විශාල ප්‍රමාණයක් ඇත.

එකවර මඟීන් 3780 ට ගමන් කළ හැකි මෙහි සේවය කරන සේවක සංඛ්‍යාව 1100 කි.එබැවින් එකවර 4880 ක පිරිසක් ගමන් කළ හැකි අති දැවැන්ත නෞකාවකි මෙය.

මෙහි නම Costa Concordia වන අතර මෙම ආයතනයට බොහෝ නැව් ප්‍රමාණයක් ඇති අතර ඉතා ජනප්‍රිය සහ විශ්වාසනීය සේවයක් සපයන ඉහළ පෙළේ නෞකාවකි මෙය.

මෙම නෞකාව වෙනදා මෙන් මගීන් පටවා ඉතාලියේ Civitavecchia වරායෙන් [රෝමයට ආසන්නම සුවිසල් ම වරාය] ගමන් ආරම්භ කර ඉතාලි මුහුදේ උතුරට ගමන් ආරම්භ කර ඇත.

මෙම ගමන ආරම්භය ම අනතුරකට පෙළඹවන සිදුවීමක් සිදුව ඇත.සුප්‍රසිද්ධ Titanic නෞකා අනතුර කෙසේ වුව ද එහි චිත්‍රපටයේ ආදර කතාව නිසා එය වඩා ජනප්‍රිය විය.

මෙම අනතුරට ද කාන්තාවක් සම්බන්ධ බව කාරණා සොයා බැලිමේ දී සොයාගෙන ඇත.
මන්ද නැව අනතුරට ලක්වන අවස්තාවේ මෙහි කපිතාන් ධූරය දැරූ Francesco Scetino ගේ කාමරය තුළ  Domeniaca නම් මොල්දාවියා කාන්තාව සිට ඇත.

මෙහි ඛේදනීය ම තත්වය මෙම අනතුර සිදු වන අවස්ථාවේ සේවකයන් ද සමඟ 4232 ක පිරිසක් රැඳි සිට ඇති අතර කපිතාන්වරයාගේ දැඩි නොසැලකිලිමත් භාවය නිසා ජීවිත ගණනාවක් අහිමි වීමයි.

අනතුරට හේතුව වූයේ නැව මෙම දුපත අසලින් යන විට අනතුරුදායක ලෙස ගොඩ බිම දෙසට ළං කිරීම බව හෙළි විය.

මෙහිදී මට හැඟෙන ලෙස මෙම කපිතාන්වරයා තම පෙම්වතියට තම වීරත්වය බලය පෙන්වීමට නැව දුපත ආසන්නයට ගන්නට ඇත යන්නයි. [එය හෙළි වූ කරුණක් නොව මගෙ මතයයි.]

මට එසේ සිතනුයේ පසුව කෙරුණු නඩු විභාගයේ දී මෙම තරුණිය දුන් සාක්කියක සඳහන් වූ, රාත්‍රී ආහාර යෙන් පසු අතුරු පස ගන්නා අවස්ථාවේ දී මෙම කපිතාන්වරයා කළ විහිළුවක් නිසාවෙනි.

"මම එක දුරකථන ඇමතුමකින්, මා අතුරුපස ගෙන අවසන් වන තුරු නෞකාව නවතා තබන්නදැයි" විමසමින් තරුණියට කළ විහිළුවයි.

එය සැලකීමේ දී තරුණිය ඉදිරියේ වීරයෙකු වීමට නැව දුපත අසලට ගැනීම පුදුමයක් නොවන බව මාගේ හැඟීම යි.

කෙසේ හෝ රාත්‍රී ආහරයෙන් පසු කපිතාන්වරයාගෙ කැබින් එක තුළට දෙදෙනා ම පැමිණ ඇත.
අනතුර ආරම්භ වන විට රාත්‍රි 9 පසුවි විනාඩි 45 පමණ වී ඇත.

අනතුර වන විට දැඩි වේගයකින් නැව ගමන් කර ඇත.නමුදු අවසන් මොහොතේ Titanic නැවෙහි කපිතාන්වරයාට මෙන් මොහුට ද අනතුර දැනී ඇත.

නමුදු වේගය අධික බැවින් නැව ගැඹුරු මුහුද දෙසට ගැනීමට කල් වේලා මදි වී ඇත.අවසන් තත්පර 32 නියෝග 6 ක් කපිතාන්වරයා තමන්ට ලබා දුන් බව සාක්කි විමසීමේ දී උප කපිතාන්වරයා සහ අනෙකුත් කාර්යය මණ්ඩලයේ කිහිප දෙනෙකුගෙන් හෙළි විය.

කෙසේ හෝ නැව හරවන මොහොත වන විටත් නැවෙහි පතුල මුහුදු පත්ලෙ වැදී නැව එක තැන නතර වී ඇති අතර නැවට ජල කාන්දු වීම ආරම්භ වී ඇත.

මෙය ගැඹුරු මුහුදක් නොවු හෙයින් එවෙලෙහි කපිතාන්වරයා යුහුසුළු වූවානම් අනතුර පිටතට දැනුම් දුන්නානම් සියළු ජීවිත රැක ගන්නට තිබුණි.

නැව අනතුරට පත් වී බොහෝ වේලා යන තුරු නැව තුළ කිසිවෙකුත් අනතුර දැන සිට නැත.නැව ජලයෙන් පිරුණ ද නොගැඹුරු මුහුදත් කොරල් පරයකට බද හේත්තු වීමත් හේතුවෙන් නැව පෙරලීම ආරම්භවන්නේ ටික වේලාවකට පසුය.

මෙහි ඇති විහිළු සහ පිළිකුල් සහගත කතාවනම් නැවක් පෙරලීම හෝ අනතුරකට ලක් වූ විට නැවක කපිතාන්වරයා නැවෙන් එළියට යන්නේ අවසාන අවස්ථාවේ දී  බව අපි දන්න මුත් මොහු සියල්ලට පෙර නැවෙන් පැන ගියේ සියල්ලන් මවිත කරවන අයුරිනි.
නැවෙන් පැනගිය මොහු ගොඩ බිම සිට ආරක්ෂක අංශ, දුරකතන මාර්ගයෙන් දැනුවත් කළ අතර ඒ වන විටත් නෞකාව ඇළ වෙමින් තිබූ අතර ජල කාන්දුවීම නිසා ඇතුලත සිටි මගීන් කලබල වී සිටියහ.

එම දුරකතන සංවාදය පසුව මාධ්‍යයට හෙළි කළ අතර එහි දී ආරක්ෂක අංශ ප්‍රධානියාට මොහු සිද්ධිය දැනුම් දුන් විගස, එම ප්‍රධානියා තම රටේ අනතුර ගැන කෙතරම් සංවේදී වුවා ද යත් දැඩිව බැණ වැදුණු සැටි ප්‍රසිද්ධ විය.

එහිදී පළමුව ඔහු ඉතා කෝප සහගතව කපිතාන්වරයාට කිවේ,
" Vai casso sull bordo" පලයන් වහා ම නැවට **** [අසභ්‍ය වචනයක්] යනුවෙනි.

පසුව විශාල හෙලිකොප්ටර් යානා කුඩා බෝට්ටු නැවට ළං විය.ඒ වන විට නැව අංශක 45 ටත් වඩා ඇලවී තිබුණ ද අනතුරක් බව ඒ වන විටත් නොදත් පිරිස සිට ඇත.

ලහි ලහියේ සේවක පිරිස නැව තුළ්ස් සිටි පිරිස් දැනුවත් කළ අයුරුත් කලබල වූ පිරිස පොරකමින් නැවේ බඳ තුළට නඟීමට උත්සහ දරණ අයුරුත් ටයිටැනික් නෞකාවේ මෙන් බඩු බාහිරාදිය පෙරෙළෙන අයුරුත් ටයිටැනික් චිත්‍රපටයට සමාන ම දසුන් පසුව මාධ්‍යයට මුදා හල අතර, ජනතාව මර බියෙන් කෑ ගැසු හැටි හද කම්පා වන සුළු විය.

කෙසේ හෝ පිරිස බෝට්ටු සහ හෙලිකොප්ටර් යානා උපයෝගී කරගනිමින් ගොඩබිමට ගෙන ඒමට සහන සේවා කණ්ඩායම් පොලිස් කණ්ඩායම් සමත් විය.

අතුරුදන් පිරිස 32 දෙදෙනෙකු පමණ විය.පසු දින ද මෙහෙයුම් සිදු කළ අතර බොහෝ මෘත ශරීර ප්‍රමාණයක් සොයා ගැනුණි.

මාස ගණනක් යන තුරුත් සමහර අතුරුදන් වූ අයගේ පවුල්වල පිරිස් ඔවුන්ගෙ ආගමික වතාවත් මහ මුහුදට සිදු කරනු දක්නට ලැබුණි.

අවසානයේ කලින් කලට මෘත ශරීර සොයා ගත් අතර අවසාන මෘත ශරීරය හමු වුයේ අනතුරින් මාස 6 ට පසුව වන අතර ඒ කුඩා බිළිඳෙකුගේ විය.

මෙම සෝචනීය ඛේදවාචකයේ නඩුව විශේෂ නුඩුවක් ලෙස සලකා සියළු කාර්ය මණ්ඩලයේ ශාක්ෂි ද සැලකිල්ලට ගනිමින් කපිතාන්වරයා වැරදිකරු කළහ.

උසාවියේ දී නියෝග දීම සම්බන්ධව වගකීම තමා භාරගන්නා බවත් නමුදු තමා යටතේ දෙවනි කපිතාන්වරයා ද වගකිව යුතු බව පැවසුව ද නොසැලකිලිමත් බව, අනතුර සිදුවු මොහොතේ එය මගීන්ට දැනුම් නොදීම, නීති විරෝධි ලෙස තම කැබිනය තුළ පිටස්තර ස්ත්‍රියක් රඳවා තැබීම හිතා මතා අනතුරට පත්කිරීම සහ තව බොහෝ චෝදනාවන්ට සෘජුව වගකිව යුතු මෙම කපිතාන්වරයා වසර 16කට සිර ගත කරන ලදි.

තත්වය සහ හේතුව කෙසේ වෙතත් මාගේ දැක්මට අනුව මෙහි යටින් දිවෙන සුන්දර ප්‍රේම කතාවක් ද ඇති බව මාගේ මතයයි.

මොහු විවාහකයෙකු වූ අතර මොහු මොල්දාවියා නම් යුරොපයේ පිහිටි දිළිඳු ම රටක Domenica නම් ස්ත්‍රියට ප්‍රේම කිරීමත් සහ අනතුරට එය ම හේතුවන්නට ඇති බව මාගේ හැඟීමයි.

මන්ද හෙලි වූ කරුණු අනුව මොල්දාවියාහි සිට මෙම ස්ත්‍රිය ඉතාලියට මෙම කපිතාන්වරයා රැගෙන විත් ඇත්තෙ නොමිලේ ය.ටිකට් පතක් මිලදී ගෙන ද නැත.එය කපිතාන්වරයා ප්‍රේමය වෙනුවෙන් තම බලය යෙදවීම යි.

කෙසේ හෝ Civitacaiccia වරායෙන් ටිකට් පතක්නම් මිලදී ගෙන තිබුණ ද මෙම කපිතාන්වරයා සම්පුර්ණ ගමන ම ප්‍රේමාන්විත සංචාරයක් බවට පත් කිරීමට උත්සහ දරා ඇත

ඇය හා එකට කෑම ගැනීම, තම පුද්ගලික කැබිනයේ ඇය රදාවා ගැනීම, දුරකතන ඇමතුමකින් සම්පුර්ණ නැව නවතා තැබීමට හැකි බව පැවසී ම තුළින් හැඟෙනුයේ තම පෙම්වතියට ප්‍රේමය වෙනුවෙන් තමාට ඕනෑ ම කැපකිරීමක් කළ හැකි බව හැඟවීම නොවේ ද?

එමෙන්ම මට හැඟෙන ලෙස එක කැබිනයේ සිටි මැයට වඩා ළංව දුපත පෙන්වීමට නැව දුපතට වඩා ලංකරා දැයි අපි නොදනිමු.

විටෙක ටයිටැනික් චිත්‍රපටයේ ජවනිකාවක, නැව ඉදිරි කොන සිට රොස් දෑත් විහිදුවා ලූ විට ජැක් පසු පසින් ඇයව කිති ගැන්වී යන ලෙස දෑත් ස්පර්ෂ කරමින් ඈ සිරුර කිතියකින් පොපියන ලෙස ගෙල සිපගත් ආකාරයට මොහු ද Domenica ව සිප ගන්නට ඇති.

ඒ ප්‍රේමය ද සුන්දරව දිවෙන්නට ඇති.ප්‍රේමය වෙනුවෙන් ලොව ම පෙරළිය හැකි ප්‍රේමවන්තයෙකු ද විය හැකියි.නමුදු අවාසනාවට මේ අන්ධ ප්‍රේමය මගීන් විශාල  ප්‍රමාණයකගේ ජීවිත අහිමි කරලීම කෙතරම් ශෝචනීය ද?

එමෙන්ම මෙම පෙම්වතිය ද මොහුට දැඩිව ප්‍රේම කළ බව නඩු වාරයේ දී දැක ගත හැකි විය.දැනට වසර 7 කුත් අවසන් වුව ද මා හට අද මෙන් පළමු නඩුවාරයට ඇය පැමිණි හැටි මතකයේ ඇත.

නවීන විලාසිතාවන්ට අනුව දණ හිසින් උඩ නුල් ඇදී අහස් නිල් පැහැති ඩෙනිම් කලිසමකින් ද, අලුපැහැති කමිසයකින් ද සැරසී සිටි ඇය කලු ජැකට් එකක් සහ කලු පැහැති දිග සපත්තු ද පැළඳ උසාවියට පැමිණිය හ.

සියල්ලන්ගේ අවධානය ඇයට වුව කඩා දැමූ කොණ්ඩය දිව යන අශ්වයෙකුගෙ වලිගය මෙන් ගස්සමින් කලු උපැස් යුවලක් ද පැළඳ උසාවියට පැමිණි අතර ඇයගේ සාක්ෂිය කාගෙත් අවධානය යොමු වුවක් විය.

වෘර්තියෙන් නැටුම් ශිල්පිනියක් වූ ඇය සුරූපි ලලනාවකි.

නැවේ සේවකයන්, මගී ආරක්ෂක අංශ, ජනමාධ්‍ය මෙන්ම මුලු මහත් රටත් ලෝකයත් කපිතාන්වරයා වරදකරු කොට, කපිතාන්වරයාට විරුද්ධව සාක්කි දී තිබුණි.

නමුත් මේ නිර්භීත ගැහැනිය තම පෙම්වතා පවා නොදුණි.කපිතාන්වරයා නිවැරදි බව සහ කපිතාන්ට වාසි සහගත ලෙස සාක්කි දුන් එකම සාක්කිකාරිය මැය විය.

ප්‍රේමය එය නොවේ ද...නීතියට තබා මුළු ලොවට ම නොබියව  විවාහක වූවෙක් වුව ද තම පෙම්වතා වෙනුවෙන් නැඟී සිටීම අනගි  නොවන්නේ ද?

ඉතාලි නීතියට අනුව නඩු විභාගයක  දී සමහර ප්‍රශ්න මග හැරීමේ බලයක් චුදිතයන්ට, සාක්කිකරුවන්ට ඇත.

මෙම විශේෂ නඩුවේ දී ඇයගෙන් විමසූ එක් ප්‍රශ්නයකට පිළිතුර දීම ඈ ප්‍රතික්ශේප කළේ තම පෙම්වතාගේ යහපත වෙනුවෙනි.

නිසි ලෙස භාෂාව හැසිර විය නොහැකි නිසා ඈ වෙනුවෙන් පරවර්තකයෙකු නඩුවට සහභාගී වූ අතර සියල්ලන් ඇයට දැඩි ලෙස කියා පෑවේ මෙම පැනය අත්‍යඅවශ්‍ය සහ තීරණාත්මක නිසා එයට පිළිතුරු දෙන ලෙස ය.

නමුදු ඇය නොවේ බිය වුයේ.ඇය නෑසුනාක් මෙන් ඊට කිසිඳු පිළිතුරක් දීමෙන් වැළකි සිටියා ය.

ලොව මගී ප්‍රවාහනයේ ටයිටැනික් හැරුණු කාට විශාල ම නෞකා අනතුර වු මෙම ඛේදවාචකය එසේ අවසන් විය.

රොමියෝ ජුලියට් ඉතාලියේ සුප්‍රසිද්ධ වුව ද Frabcesco සහ Domenica ප්‍රේම වෘතාන්තය ප්‍රසිද්ධ නොවුනේ පෙම්වතා වැරදිකරුවු නිසාදැයි නොදනිමි.

ප්‍රේමයට බොහෝ සුප්‍රසිද්ධ රොමියෝ ජුලියට්, ඔතෙලො වැනි සුප්‍රසිද්ධ ප්‍රේම කතාවලට සම්බන්ධ ඉතාලි රටේ තවත් ප්‍රේම කතාවක් සුවිසල් ඛේදනීය අනතුරක් සමඟ එසේ නිමා විය.

පෙම්වතා වසර 16 ට සිරගත විය.ජනමාධ්‍යයට කිසිදු ප්‍රකාශයක් නොකරමින් දිලිසෙන දෑසින් තම ප්‍රේමවන්තිය දෙස බලමින් Francesco ආරක්ෂක අංශ සමඟින් සිරගෙදරට යන අයුරු දැක ගත හැකි විය.

පෙරළුනු අති සද්දන්තයා, Costa concordia නෞකාව වසර එකහමාරක් පමණ කාලයක් දුපත අසල තිබුණු අතර ඉන් අඩක් මුහුද යට ද ඉතිරිය උඩ ද පෙනෙන ලෙස ද තිබුණි.

වසර එකහමාරක් සුවිසල් සේවක පිරිසක් කුඩා නෞකා දෙකක් ද සේවයේ යොදව එය කෙලින් කළ අතර කෙලින් වු නෞකාව Civitavaiccia තොටපල වෙත තවත් නැවකින් ඇදගෙන ගිය අතර එය දුටු මා හට මාලිගාවේ සද්දන්ත රාජා නම් ඵෙතිහාසික හස්තයා අසනීපව නැගිට ගැනීමට බැරිව සිටි හැටි සිහි විය.

මන්ද තම දස්කම් පා මහ මුහුදේ දැවැන්තයෙකුව සිටි මෙම නෞකාව සෙමෙන් සෙමෙන් ශෝකි අයුරින් මල හිරු බැස යන සැදෑවක ඈතට පාව ගියෙ හරියට අසනීප වූ රාජා ඇතු කදුළු පිරි දෑසින් බිම වැටී සිටි අයුරිනි.

කෙසේ හෝ අද එම නෞකාව නවීකරණය කර සේවයේ යොදවා ඇත.Francesco හා Domenica ගේ ප්‍රේමය කෙසේදැයි නොදනිතත් මා හටනම් එය ද සුවිශේෂි ප්‍රේම කතාවකි.
මන්ද ලොවම එරෙහි වුවත් වරද කාගේ වුවත් ඔවුන් දෙදෙනා කැපවුයේ ඔවුන් දෙදෙනා වෙනුවෙන් වීම සහ ලොවම එරෙහි වූ විටක දී පවා තම ප්‍රේමවන්තයා සමඟ අත්වැල් බැඳ සිටීම ම කෙතරම් අපුර්වද ?

අනතුර සිදු වී හමාරය. ලොවට ම ඔවුන් වරදකරුවන් වුව ද හිරෙන් නිදහස්ව ආ දාක ඔවුන්ගේ ප්‍රේම ලෝකය ජය ගැනීමට හැකිවේවා යැයි මා ඔවුන්ට සුභ පතමි.

ජය !

අරවින්ද රත්මල්ගම.

Comments

  1. අපුරුයි 👍👍👍👍

    ReplyDelete
  2. Costa Concordia ගැන යම් තරමින් කියවා තිබුණත්,ඔබේ අත්දැකීමක් හා එක්වුණ මේ සවිස්තරාත්මක සටහන
    හරි අපූරුයි.
    ජය!

    ReplyDelete
  3. අපුරු කතාවක්.

    ReplyDelete
  4. අතිශය සුන්දර කතාවක්. ඔබගේ බ්ලොගයේ ෆොන්ට් එක තරමක් විශාල කලහොත් බලන අපට පහසුවක් වේවි!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දැනුවත් කලාට..එය සිදු කරන්නම්..ජය

      Delete
  5. ඔහොම සීන් එකක් දන්නේ අද

    ReplyDelete
    Replies
    1. මේක ඒකාලේ කතා බහට ලක් උනා..ටයිටැනික් තරමට මිනිසු නොමැරුන නිසා වැඩිය ප්‍රසිද්ධ නොවුනත් නැව අවු.2 ක් විතර පෙරලුන තැනම තිබිල පස්සෙ කෙලින් කරල අලුත් වැඩියා කලා.

      Delete

Post a Comment

Popular posts from this blog

මතක මිය ඇදෙන සඳ

පිරිමි නිරුවත.

බල්ලෙකුගෙ හදවත