ප්‍රේම ෆැන්ටසියේ සුජිවගේ භූමිකාව..


ප්‍රේම ෆැන්ටසියේ සුජිවගේ භූමිකාව..

මම සුජීවගේ සාහිත්‍යය කෙසේ වෙතත්, සුජීව ගැන කාලෙක ඉදන් ලියන්න හිටියේ.
අතපහු වුණ එයට අත ගැස්සුව, පෝස්ටුවකට මා ලියූ කොමෙන්ටුවෙක දිගුවක් ලෙස එය මෙසේ ලියන්නට හිතුණා.

සුජීවගේ මම දකින ගුණ කිහිපයක් තියනවා.

1. සුජීව කියන්නෙම කළමනාකාර උපාධිධාරියෙක්...ඒ දැනුම තම ක්ෂේත්‍රයට යොදලා ජීවත් වෙන හොඳ මුදලාලි කෙනෙක්.ක්ෂේත්‍රයට ම හරියන්න විවාහ ජීවිතයකට ද පා තබා අති සාර්ථක වෙළඳ උපක්‍රම මඟින් වෙළද පොළ අල්ලන්න සුජීවට හැකි වුණා.

සුජීව තමා ලත් කළමනාකාර උපාධිය තමා අත ගැසූ ක්ෂේත්‍රයට නිසි ලෙස යොදා ගනිමින් ක්ෂේත්‍රය තුල පුද්ගලිකව අති සාර්ථක පුද්ගලයෙකු වීම.විවේචකයන්ගේ විවේචන තඹයකට මායිම් නොකරන ඔහු කිසිඳු ප්‍රසිද්ධ මාධ්‍යයකට තම සාකච්ඡා පවා ලබා නොදෙන්නේ ද නිකම්ම නොව එය ද වෙළද උපක්‍රමයක් ලෙසයි මා දකින්නේ.

2. පොත් වල මිල...,
මේකත් ලංකාවේ අනෙක් ආයතන හා එක්ව ගත්තාම හොඳ තත්වයක තියනවා.ව්‍යාපාරිකයන්ටනම් අත්පිට මුදලට ම පමණක් පොත් ලබා දුන්න ද පාඨකයගෙ පැත්තෙන් බැලුවාම සාධාරණ මිලක්...මොකද ඒ කවර සහ පිටුත් හොඳ තත්වයේ...වගේම දැකුම්කළු නිමාවකුත් තියනවා.

3. නවීන තාක්ෂණය...ලංකාවේ කතෘ සහ ප්‍රකාශන කියන කිසිඳු පුද්ගලයෙක් හෝ ආයතනයක් භාවිතා නොකළ ඉහළ තාක්ෂණික ක්‍රම ඔහු උපයෝගී කර ගන්නවා.දුරකථනයෙන් පොත් අහන ක්‍රමය හඳුන්වා දී ලංකාවේ පමණක් නොව විදෙස්ගත ලාංකේක පාඨකයාව ද තම ග්‍රහණයට හසු කරගන්නේ සියුම්ව සහ උපක්‍රමශීලීව ය.

පාඨකයාට නිසි ගෞරවය ලබා දීම. මෙය ද තම ව්‍යාපාරික කලමනාකාර ඥානය ලෙසයි මා දකිනුයේ.බොහෝ ලේඛකයින් ප්‍රකාශකයින් මුහුණු පොත තුල හැසිරෙන ආකාරය තම පුද්ගලික කේන්තිය පාඨකයා පිට මුදවා හැරීම,සමහර අවස්ථාවල පාඨකයාට හිඟන්නා ලෙස ඇමතීමට ද ප්‍රකාශකයන් පෙලඹීම,විවේචන දරාගත නොහැකිව සමහර ලේඛකයන් මුහුණු පොත තුල දඟලා තම ප්‍රතිරූපය විනාශකර ගන්නා සැටි අප දැක ඇත.

නමුදු සුජීව එසේ නොවේ. විවේචන තඹයකට ගණන් නොගනි. ඔහුගේ ඉලක්කය තම පාඨකයා පමණි. පාඨකයාට ඔහු ලොකු අයියා ය.එය වයස 12 ද 13ද 35 ද 40 නැතිනම් සුජීවට වඩා වැඩිමල් ද අදාල නැත. ඇමතීම සුන්දර ය. බුද්ධියට නොව හදවතට අමතයි.

මගේ නංගියේ...මල්ලියේ...ඔයාල එක්ක ලොකු අයියා ඉන්නවා...උඹලා ජීවිතේ දිනන්න ඕන...උඹලට උඹලා විතරයි...අඩන්න එපා උඹලට ලොකු අයියා ඉන්නවා....වගේ සුන්දර වචන සෙට් එක දමා තම පාඨකයා රැකගෙන ශූර ලෙස තම ව්‍යාපාරය සිදු කරයි.එයයි ව්‍යාපාර ශූර ඥානය.

4. සාහිත්‍යය...මේකනේ වැදගත්ම.
සුජීවගෙ පොත් ප්‍රේම කතා, බොළඳ කතා වගේ දැනෙන විවේචනය යි කෙරන්නෙ..හැබැයි මම කියනවා සුජීව ලංකාවේ ප්‍රේම කතා ක්ෂේත්‍රයේ හැරවුම් ලක්ෂය යි කියලා.

ප්‍රේමය කියන්නෙම වයස් භේදයකින් තොරව සියළු මනුෂ්‍ය වර්ගයා විදීමට කැමති අති උතුම් හැඟීමක් සේම එය ලොව ආරම්භයේ සිට අවසානය දක්වා ද පවතිනු ඇත.

මේ ප්‍රේමය සාහිත්‍යයට බොහෝ දෑ සිදු කර ඇති අතර සාහිත්‍ය නිර්මාණ වැඩිපුර ම බිහි ව ඇත්තේ ප්‍රේමය (මෙහි ප්‍රේමය යන්නට විරහව ද අයත් ය.)නිසාවෙනි.

එය පොත් ක්ෂේත්‍රයට ද එසේම ය.ලොව ප්‍රසිද්ධම ප්‍රේමය ගැන ලියු තැනැත්තා විලියම් ෂේක්ස්පියර් ලෙස ගැනිය හැක.

මේඝ දූතය වැනි ඉපැරණි සම්භාව්‍ය ලෙස ගිණිය හැකි පොත් සඳහා ප්‍රස්තුතය ද ප්‍රේමයමැයි.

එසේනම් පෙර අපර දිග භේදයකින් තොරව බොහෝ කතුවරුන් ප්‍රේමය ම මූලික කොට විශිෂ්ට නිර්මාණ බිහි කර ඒවා අති සාර්ථක ද කර ඇත.

ලාංකේය පොත් ක්ෂේත්‍රය ගත්ත ද ප්‍රේමය මූලික බොහෝ නිර්මාණ බිහි වි තිබුණ ද ඉන් දැඩි ව විවේචනයකට ලක් වූ කතුවරයා සුජීව ප්‍රසන්නආරච්චි බව දැකිය හැක.

සුජීව, විවේචනයට බඳුන් වන්නේ මේ වගේ තැනින්නේ...
අපි "බොඳ මීදුම්" ගමු...

අසනීප වන සංසලා ළඟට එන ප්‍රේමවන්තයා මෙහෙම කියනවා...

"මට ඔයා ඔහොම ඉන්නව බලන්න බෑ සංසලා...
මට පුළුවන්නම් ඔයාගෙ අසනීපෙ මම අරන් ඔයාව හොඳ කරනවා..."

කියන ගමන් ඔළුව අතගානවා...
තව කොල්ලා අඬනව වගෙ හැඟීම පාඨකයට මවලා දෙනවා...

මේක සැබෑ ලෝකේ වෙන්නෙ නෑ කියල බනින හැමෝම ආසයි මනසින් මේක විඳින්න‍. ආස නැද්ද?
මුහුණ පොතේ බැලුවොත් ගෙදර උයනකොට පස්සෙන් ඇවිත් බදාගෙන තුරුළු වන කිස් කරන ෆොටෝ, පෝස්ට් පිරිලා....
මිනිස්සු ආර්ථික, සමාජීය වගෙ ප්‍රශ්නවලින් මිරිකිලා ඉන්න නිසා ඒවන් ප්‍රේමණීය ක්‍රියාවන්ට කාලය නැති වුණාට, ඒවට ආස නැත්තේ නෑ..

සුජීව කරන්නේ ඒ මිනිසාගේ යටි හිත තුල තියන ආශාව නැත්නම් මිනිසුන්ගෙ ෆැන්ටසියට අකුරු හරහා ජීවය දීම පමණයි.

ඕකම විලියම් ෂේක්ස්පියර් කරන් නැද්ද ?
අපි ෂේක්ස්පියර්ගේ විශිෂ්ට ම නාට්‍යානුසාර කතාවක් බලමු.
ඔතෙලෝ....
ඒකේ දෙබසක් මෙහෙම තියනවා.
ඔතෙලෝ තම භාර්යාව මරා මෙසේ වැළපෙනවා...

"සුළඟින් මාව ඉඹාගාතේ ගහගෙන පලයල්ලා...
ගෙන්දගම්වල දමා මා පුච්චා දාපල්ලා...
ගිනි ගෙන දැවෙන ලෝ දියට මාව ඇද දාපල්ලා...
අනේ...ඩෙස්ඩිමෝනා...අනේ ඩෙස්ඩිමෝනා..."

කියල තියන උපහැරණ සියල්ල කියනවා විතරක් නෙමෙයි, අවසානයේ ප්‍රේමය වෙනුවෙන් තමනුත් දිවි නසා ගන්නවා.

එතකොට ඉහත සංසලා ළඟ දනුක දණගහල අඬන එකයි, ඔතෙලෝ ඩෙස්ඩිමෝනා මරල ඒ ශෝකයට තමත් මැරෙන එකෙයි වෙනසක් තියනවා ද..?
ඔව් තියනවා....ඒ තමයි භාෂාව සහ එය ඒ කාලයට ගැලපෙන ලෙස ඉහළ ප්‍රේම වාක්‍යය යෙදීම...ඒ හැර අර්ථය උත්තම ප්‍රේමය නොවේ ද...?

ෂේක්ස්පියර්ගෙ බොහෝ කතා ශෝක රසය වැඩි ප්‍රේම කතා යි.

මා සුජීව සහ ෂේක්ස්පියර් කිසි විටෙකත් සමාන කරන්නෙ නැහැ.

නමුදු දෙදෙනා මාර්ග දෙකක වුව ද ප්‍රස්තුතය ප්‍රේමය යි. ෂේස්පියර්ගෙ භාෂාව ටිකක් සාමාන්‍ය කෙනෙකුට නීරස හෝ විචාර ලියන නැතිනම් ඉහළ වයස් කාණ්ඩවල අය කියවීමට රුචිකත්වයත් ලොව ඇති පිළිගැනීමත් භාෂා ශෛලයත් වැනි කරුණු නිසා ඉහළ අගයක් ගන්නා බව පැහැදිලි ය.(තව සාහිත්‍යමය කරුණු ද ඇත.)

නමුදු සුජීව ප්‍රසන්නආරච්චිව එතරම්ම විවේචනය කළ  යුතු ද?
සුජීවගේ පොත් බොළඳ ෆැන්ටසි කිසිඳු හරයක් නැති පොත් ද ?

නමුදු මා සුජීවගේ බොහෝ සාර්ථක ගුණාංගයන් මෙන්ම පාඨකයාට මෙන්ම ක්ෂෙත්‍රයට වන ගුණ කිහිපයක් දැක ඇත.

සුජීව ලියන්නෙ තමා ඉලක්ක කළ පාඨක පිරිසකට යි.එයිනුත් බහුතරය කාන්තා පාර්ශවය ඉලක්ක කරගනිමින් තම වෙළඳ පොළ රුචිකත්වය අනුව සාර්ථකව ඔහු තම කර්තව්‍යයේ නියැලෙනවා.
ශුංගාරය වුණත් ඉහළ යි....ශෝක රසය, කරුණා රසය ,රෞද්‍ර රසය,වීර රසය,ශාන්ත රසය ,භයානක රසය ආදි දස රස පවා අඩංගු නෑ කියන්න බෑ...

ඒ කියන්නේ සුජීව ශිල්පය දැන හරඹයේ යෙදෙන බවත්,ඒවා සාර්ථක බවත් නොවේ ද...?

රටක සාහිත්‍යයක් ගැබ්බර වීමට නිතර ඉහළ ම හෝ සම්භාව්‍යයයැයි පවසන කතා ම අවශ්‍ය ද...කියන සාකච්ඡාවකට බදුන් විය යුතුයි.

සුජීවගෙන් සාහිත්‍යයට ඉහළ ම දායකත්වයක් නොලැබුණ ද..පොත් කර්මාන්තයක් වශයෙන් රැකගැනීමට වන උපකාරය ඉහළ යි.

පසුගිය පොත් ප්‍රදර්ශනයේ, ප්‍රකාශක සංගමය සහ එහි බොහෝ වන්දිබට්ටයන් පොත්වල මිල පහත දාන්න බෑ.. වට්ටම් දෙන්න බෑ.. කියද්දී සුජීව නිහඬව ඒ සියල්ල කිරීම තුලින් ද පැහැදිලිවන්නේ සුජීවගෙන්,පොත් කර්මාන්තය රකින්නේ යැයි පවසා මවාගත් සංගමවලට වඩා ඉහළ සේවයක් වන බව නොවේ ද?

මේ සටහන තුලින් ෂේක්ස්පියර්ගේ හා සුජීවගේ සාහිත්‍යයමය ප්‍රේමය මා ගෙන හැර දැක්වුවද සාහිත්‍යයේ ගෙතෙන ප්‍රේමය හැබෑව හා සැසදීමේදි
සත්‍ය ප්‍රේමය අසා කියවා මිස මාද අත්විද හෝ දැක නොමැත.

ජය!

අරවින්ද රත්මල්ගම_______✍️

Comments

  1. අයෙක් සුජීවට කැමති විය හැකිය. අකැමති විය හැකිය. එහෙත් ඔහුව නොසළකා හැරිය නොහැකිය. ඔහු ලාංකික සාහිත්‍ය ඉතිහාසයේ "නම " තැබූ අයෙක් බව විශේෂයෙන් කිව යුතු නොවේ. මගේ අදහස නම් ඔහු ගේ සාහිත්‍යමය කාර්ය භාරය දශක දෙකක් තුනක් ගිය තැන කතා බහට ලක් වන බවයි. ස්තුතියි අරවින්ද ඔහු වෙනුවෙන් ලියූ මේ ඇගයීමට ....

    ReplyDelete
    Replies
    1. 12.12.12 වැනි පාඨකයන් අතර නමක් තැබු පොත් එළිදක්වමින් ලාංකේය සාහිත්‍යට මනා පොෂනයක් ලබා දෙන ඔබ තුමන් වැනි අයෙකුගේ ඇගයිම මා දිරිමත් කලේය..ස්තුතියි අයියේ..ජය..

      Delete

Post a Comment

Popular posts from this blog

මතක මිය ඇදෙන සඳ

පිරිමි නිරුවත.

බල්ලෙකුගෙ හදවත