ඈන් ෆ්‍රෑන්ක් මතක සුවඳ

ඈන් ෆ්‍රෑන්ක් මතක සුවඳ....

ලොව වැඩිම පොත්  සංඛ්‍යාවක් ,එක් පුද්ගලයෙකුට ලියවී ඇත්නම්, ඒ ජර්මනියේ ඇඩොල්ෆ් හිට්ලර් ට වේ.

ලෝකයේ ගමන් මග වෙනස් වු සංධිස්ථාන අතර දෙවන මහා ලෝක සංග්‍රාමය මූලිකත්වයක් ගනු ලැබුවා මෙන්ම දෙවන ලෝක මහා සංග්‍රාමය හා බැඳුණු විවිධ සුවිශේෂි කතා මෙන්ම චරිත කතා ද බොහෝ වේ.ඒවාට ඇති ඉල්ලුම ද ඉතා ඉහළ ය.

නමුදු චරිත කතා අතරින් හිට්ලර්ගේ චරිතය වඩා ප්‍රසිද්ධ මෙන්ම එක් පුද්ගලයෙකුට ලොව ලියවුණු වැඩි ම පොත් සංඛ්‍යාව ද හිට්ලර් වටා ගෙතී ඇත.

 ඔහුට ළං කළ හැකි සුප්‍රසිද්ධ චරිතයක් ඇත්නම් ඒ ඈන් ෆ්‍රෑන්ක් යයි කීම වරදක් නොවේ.ඒ ඇගේ දිනපොත ලොව පුරා භාෂා විශාල ප්‍රමාණයකට පරිවර්තනය වී විශාල පාඨක පිරිසක් වැලඳ ගැනීම හේතුවෙනි.

ඇයට ලැබුණ පිළිගැනීමේ උච්චත ම අවස්ථාවක් පසුගිය වසරේ අපට දැකගත හැකි වූයේ ලෝක පාපන්දු තරගාවලියේ දී ඈන් හට තම ආචාරය පුද කරමින් ඉතාලි පාපන්දු කණ්ඩායම ඇය වසරේ චරිතය කිරීමත් එය අනුගමනය කරමින් මුලු පාපන්දු තරගාවලිය ම ඇය හා බැඳී තිබීමත් ය.

ඈන් එසේ ප්‍රසිද්ධ වුව ද ඇය එතැනට ඔසවා තැබුවේ කවුරුන් ද?

ඒ ගැන ලොවට එතරම් වැදගත් නොවුවක් ලෙස පෙනුන ද ඇත්තටම අප වැදගත් ලෙස සැලකිය යුත්තේ එයයි.

අප රටේ උතුරට දරුණු යුධ තත්වයක් පැවති විට උතුරේ වැසියාට ද 88/89 වකවානුවේ භීෂණයෙන් දකුණේ ජනයාට ද යුධ බිය පිළිබඳ යම් දැක්මක් ඇත.එබැවින් මරණයට ඇති බිය යුධයේ කුරිරු බව අප යම්තාක් දුරට විඳ දරා ඇත.

එයටත් එහා ගිය දෙවන ලෝක යුධ සමයේ යුදෙව්වෙකුට ආරක්ෂාව සපයන්නෙකුගේ බිය කෙතරම් විය හැකිද?
නමුදු කිසිඳු ලාභ ප්‍රයෝජනයක් නොතකා විටෙක තම ආහාර පවා ඈන් ඇතුළු පවුලේ අයට ලබා දෙමින් ජීවිත අවදානම ද නොතකා මෙම ඇන් ෆ්‍රෑන්ක් ලොවට ඔසවා තැබු වීරවරිය වෙනෙකෙක් නොව #මීප්_ගීස්" නම් සුවිශේෂි කාන්තාව යි.

වයස 13 වැනි කුඩා දැරියක් ලියු දෙයක් බොහෝ විට වත්මනේ අප නොබලා ම විසි කරනු ඇත.නමුදු තම ජීවිත අවධානම ද නොතකා ජර්මන් පොලිස් ආරක්ෂාවෙහි පැවති කුටිය තුළින් එම දිනපොත ඇතුළු කඩදාසි එකතු කිරීමත්, යුදෙව්වෙකුගේ ලියකියවිලි ලඟ තබා ගැනීම මරණයට අත වැනීමක් බව දැන දැනත් ඇය එම කඩදාසි තම මේස ලාච්චුවේ බහා තබා ගැනීම කෙතරම් අවදානමක් ද?

එම අවදානම නොතකා ඇය එම කාර්යය ඈන් වෙනුවෙනුත් ලොවට යුද්ධයේ බියකරු බව කියා පෑමටත් සිරගත කුටියක සිටින දැරියකගේ මනස ලොවට හෙළි කිරීමටත් උපයෝගී කළ සැටි ප්‍රශංසනීය වේ.

එපමණක් නොව එම යුධ සමයේ සමාජ ආර්ථික දේශපාලන වටපිටාව අපට යම් දුරකට මෙම ලියවිල්ල හරහා අවබෝධ  කරගත හැක.

දරුණුවට යුද්ධය පැවති විට යුද්ධයේ වීවරයා වූ වින්ස්ටන් චර්චිල් අභීත සිහ නද පතුරුවමින් පීඩිත වැසියා දිරි ගැන්වූ ආකාරයත්,
ලොව ම යටත් වීමට තිබූ මොහොත රුසියානු රතු හමුදාව ජීවිත පරිත්‍යාගයෙන් රැකගත් ආකාරයත් මුසොලිනි සහ බිරිඳ ඝාතනය වූ අයුරුත් ඕලන්ද රැජිනගේ නොසුබට විර්‍ය්ය ආදිය ගැන ද යම් අවබෝධයක් මීප් ගිස් විසින් ලියු මේ ඈන් ෆ්‍රෑන්ක් මතක සුවඳ පොතෙන් ලබා ගත හැක.

මෙහි එක් යුදෙව්වෙකු මරණය දැක දැකත් තම ජීවිතය නොව ශේක්ස්පියර්ගේ පොත් ටික රැකගන්නා ලෙස ඉල්ලු ඉල්ලීම පොත්වලට හිතැති අපහට ඉතා සංවේද ජනක අවස්ථාවකි.එය මෙම පොතේ මා දුටු ඉතා සංවේදිම අවස්ථාවකි.

" පිහිට අවශ්‍යවන්නන්ට අත දීම සඳහා තමා සුවිශේෂි පුද්ගලයෙකු ම විය යුතුයැයි කිසිවෙකුත් කිසිම දිනෙක කල්පනා නොකළ යුතුය.මම ඉතා සාමාන්‍ය කාන්තාවක් විමි.මට මෙය හැර අන් විකල්පයක් ද නොවී.අපි මිනිසුන් ලෙස අපේ යුතුකම ඉටු කළෙමු. පිහිට අවැසි අයට අත දුනිමි "ලෙස මීප් පවසයි.

එය වත්මනේ බලයට කෑදර කමින් රටට සේවක් කිරීමට යැයි ජනයා ප්‍රතික්ශේප කළ ද නැවතත් බලයට ම කෑදර කමින් කෙළ පෙරනා ලාංකීය දේශපාලන ගෙවලයන් ඉගෙන ගත යුතුවා පමණක් නොව උන් හට කොන්දේසි විරහිතව කඩේ යන නොදැනුවත්කමේ අගාධයේ සිටින ජනතාව ද උගත යුතු පාඩමක් නොවේද?

ඈන් ෆ්‍රෑන්ක්ගෙ දිනපොත කියවු සියල්ලන් මෙම මීප් ගිස්ගේ ඈන් ෆ්‍රෑන්ක් මතක සුවඳ පොත ද කියවිය යුතු බව මා යෝජනා කරමි.

මන්ද එම කියවීම සම්පුර්ණවන්නේ මෙම පොත් දෙකම කියවූ කළ නිසා බැව් හැඟෙන නිසාවෙනි.

දෙවන ලෝක සංග්‍රාමය අවසන් වී දශක ගණනාවකි.අපට එහි අත්දැකීම් නැත.නමුදු යුධයක කුරුරු බව, එහි පිළිකුල් බව දශක තුනක යුධයකට මුහුණ දුන් අප දනිමු.
නමුදු මෙවැනි පොත් කියවූම තුළින් අප යුධයක නොදකින පැති උකහා ගත හැකිවා සේම යුධයක ජයග්‍රාහකයෙක් නොමැති බව ද අවබෝධ කරගැනීමට රුකුලක් ද වනු ඇති.

ලොව වටිනා ම දෙය ජීවිතය බව අප දනිමු. එසේ වටිනා ම වු ජීවිතය පරදුවට තබමින් මෙම ෆ්‍රෑන්ක් පවුලත් ඈන්ගෙ දින පොතක් රැකගැනීමට උත්සාහ ගත් මීප් ගීස් නම් වීරවරියට අප ආචාරය පුද කළ යුතුම ය.

ඇය ගැනත් එකල පැවති සමාජ ආර්ථික දේශපාලන වටපිටාවක් කුරුරු යුධයක පිළිකුල් බවත් සජීවී ව  අත්විඳි මෙම වීරවරියගේ දිවියේ තොරතුරුත් දැන ගැනීමටනම් කදිම පොතකි මේ...
මීප් ගීස්ගේ ඈන් ෆ්‍රෑන්ක් මතක සුවඳ...

මෙය පරිවර්තනය කර ඇත්තේ චුලානන්ද සමරනායක වන අතර අහස පොතක් ලෙස පාඨක අප හමුවට පැමිණ ඇත.

ජය!
අරවින්ද රත්මල්ගම.

Comments

Popular posts from this blog

මතක මිය ඇදෙන සඳ

පිරිමි නිරුවත.

බල්ලෙකුගෙ හදවත