අහම්බකාරක

අහම්බයක් වූ අහම්බකාරකට අහම්බයෙන් සම්මානයක් හිමි වී ද...?

අහම්බකාරක....,

සාහිත්‍යය කෙසේ වෙතත් පොත සියුම්ව පරික්ෂා කළ විට ගැහැණිය තම වාසියට යහන්ගත වන බව නම් සියළු ප්‍රධාන චරිතවලින් මොනවට පැහැදිලි වේ.

රැඩිකල් වාදි පිරිමින් හා කරට කර ගැටුණ රාධා පවා මුදලට ගොළු විජේ සාධාරනීය කරමින් ඔහු හා යහන්ගත වීම මත සමාජයේ ගැහැනුන් ආදරය යැයි පවසා වාසිය තකා පිරිමින් හා යහන්ගත වන බව ද වක්‍රව මින් කියා පාන්නේ...!

ඉතින් එහි ඇති අහම්බයක් වේ ද...?

ඒ කෙසේ වෙතත් මෙම පොත පුරා ගැහැනුන් මුදලට, වාසියට පිරිමියෙකු හා සංවාසයේ යෙදෙන බව හා වමට සියුම්ව පහර දීමට යොදා ගැනීම හැර වෙනත් ගැඹුරු අර්ථයක් නම් මට නොපෙනේ.

කතාව පිච්ච මල්, ගොළුකම්, දක්ෂකම්, දේශපාලනික ජඩකම්  වැනි ලුණු ඇඹුලින් රස කර ඇති නිසා පාඨකයාට මෙහි ඉහත හරය නොවැටහුන ද සම්මාන දෙන විනිශ්චය මණ්ඩලයකට එය නොපෙනීයාම මා විශ්මිත කරවීය.

අහම්බකාරය සම්මානනීය වූ කිනම් අහඹුවක් වේදැයි
විමතිය අහම්බයක් නොවීම, මෙලෙස ඒ පිළිබඳ විමසුමට මා පෙළඹ විය.

ලංකාවේ දැනට සිටින නවකතාකරුවන් අතරිනුත්, ආචාර්යවරුන් අතරිනුත් හොඳ නමක් දිනා සිටන මනා භාෂා දැනුමැති උගතෙකි ලියනගේ අමරකීර්තියන්.

පේරාදෙණිය විශ්ව විද්‍යාලය තුල නොව ලංකාවේ සියලු විශ්ව විද්‍යාල තුලත් බොහෝ පාඨකයන් අතරත් ජනප්‍රිය එතුමා මා ද පුද්ගලිකව ම ප්‍රිය වියතෙකි.

අටවක පුත්තු කතාව තුලින් පාඨක හදවත් තුල ලැඟුම් ගත් එතුමා,අර මිහිරි සීනු නාදය සහ කුරුලු හදවත වැනි කෘතිවලට ද හිමිකම් කියන විශිෂ්ඨයෙකි.

අහම්බකාරක ආරම්භයේ දී ම එතුමා එය අහම්බයක් ලෙස හඳුන්වා දී කතාව ගලා යාමට සලස්වයි.

ගොළුවා,රාධා,බන්දු යන ත්‍රිත්වය මෙන්ම අනෙකුත් චරිත සහ මුළු කතාව පුරා පිච්ච මල් නම් හුයෙන් බැද දැමීමට එතුමා දරා ඇති තැත යම් දුරකට සාර්ථක බව සැබෑ ය.

නමුදු මෙය සාර්ථක නවකතාවක් ද...?

මට අනුවනම් නැත.සාමාන්‍ය ලේඛකයෙකුගෙන් බලාපොරොත්තු වන දෑ අප ලියනගේ අමරකීර්ති නම් විශිෂ්ඨයාගෙන් බලාපොරොත්තු නොවෙමු.

අප එතුමන්ලා ලාංකේය සාහිත්‍යය ගැබ්බර කරන පිංබර සාහිත්‍ය මව්වරුන් ලෙස දකිමු.

මෙම කෘතියෙහි එවන් හරසාර දෙයක් ඇත්තට ම නැති මුත් සාමාන්‍ය පාඨකයෙකුට කියවාගෙන යා හැකි කෘතියකි.

අපට ලේඛකයෙකුට සීමා පැනවිය නොහැක.එය එතුමාගේ ස්ව කැමැත්ත වන අතර පාඨක අප එය භාරගන්නා ක්‍රමයට අප ඒ ගැන සටහන් තබන්නෙමු.

ප්‍රශ්නය එතැන නොවේ.

එසේනම් කොතැනද...?

මෙය 2016 වසරේ ස්වර්ණ පුස්තක සම්මානයට හිමිකම් කියු කෘතිය වීම ය.

දැන් පාඨකයෙකු වන මා හට පැන නඟින ගැටළු සුවිශාල වේ.

සම්මානය ලබා දුන් විනිශ්චය මණ්ඩලය එවන් සම්මානයක් දීමට මෙහි දුටු විශේෂ ලක්ෂණයන් මොනවා ද?
ඔවුන්ගේ නිර්නායකයන් මොනවා ද?
වැනි බරපතල ප්‍රශ්න ගණනාවක් පැන නැඟුණි.

මට අනුව එවන් කිසිඳු සුවිශේෂී ලක්ෂණයක් මෙහි අඩංගු නොවේ.

ඉන් මා පැමිණෙන නිගමනයන්නම්...,

එක්කො 2016 මීට වඩා හොඳ පොතක් නිර්මාණය නොවීමයි.2016 වර්ෂයේ සියළු පොත් නොකියවා ඇති බැවින් මා හට එය නිශ්චිතව කිව නොහැක.

එසේත් නැත්නම් වැඩවසම් - ලුම්පත් සංධානයක් විසින් විජිත සහෝදරයා ඝාතනය කළ ලෙස රතු කමිසකාරයන් කියු ලෙසට පොතේ සම්මානයටත් එම කරුණ ම හෝ ලියනගේ අමරකීර්ති කියන නාමය බලපෑවේ ද?

එය එසේ නොවේනම් අවසන් නිගමනය මෙම සම්මානකාරයන් ලාංකේය සාහිත්‍ය අමු අමුවේ ම මරා දමනු වස් කිසිඳු හරයක් හෝ සාහිත්‍යමය වටිනාකමක් නැති මෙවන් පොතකට සම්මානය ලබා දී කතුවරයා මුරුංගා අත්තේ තබා ඇති බවයි.

අති භයානක ම තත්වය එය යි. කරුණු එසේ වුවහොත් හිතාමතා ම ලාංකේය සිංහල සාහිත්‍යය පෙට්ටියට වැටි ඇති මොහොතක එය ඇණ ගසා වල දැමීමේ කුමන්ත්‍රණයකට මෙම සම්මානකරුවන් අත ගසා ඇති ද ?

ජය!
අරවින්ද රත්මල්ගම ______✍️

Comments

  1. ඔබේ මේ ප්‍රශ්න කිරීම හරි අගෙයි.

    ඇත්තටම මේ සම්මාන හරහා සාහිත්‍යය නඟාසිටුවීමක් කෙසේ වෙතත් කිහිප දෙනෙක් එක්ව ගන්නා විනිශ්චයක් මත සම්මාන හිමි කරන ලද පොතක් බහුතරයකගේ කියවීම මොට කරනවා.
    මොකද අද පාඨයන් බොහෝ දෙනෙක් සම්මාන ලැබීම හේතුවක් කර ගෙන පොත් තෝරා ගැනීමට පෙළඹී ඉන්නවා.
    ලේඛකයා දිනවන පාඨකයා මුලා කරන මේ සම්මාන විනිශ්චයන් ප්‍රශ්න නොකිරීමත් පාඨක වරදක්.

    ReplyDelete
    Replies
    1. ඇත්ත..අද සම්මාන මුදලට විකිනෙන වංචාවක්..

      Delete

Post a Comment

Popular posts from this blog

මතක මිය ඇදෙන සඳ

පිරිමි නිරුවත.

බල්ලෙකුගෙ හදවත