එක ෆැන්ටසි ලොකෙක..

එක ෆැන්ටසි ලෝකෙක.....

ෆැන්ටසිය....මෙයට විවිධ ගැඹුරු අර්ථ දැක්වීම් ඇති වුවද සරලව සිහින ලෝකය ලෙස හැඳින්වීමේ වරදක් නැත.

යමෙකු ෆැන්ටසි ලෝකෙක, සිහින ලොවක ජීවත් විය යුතු ද?

ඔව්... ලොව බොහෝ සාර්ථක මිනිසුන් යම් ෆැන්ටසියක ජීවත් වී ඇත.

මනෝවිද්‍යාත්මක ව වුව ද යමෙක් යම් සිහිනයක ජීවත් වීම තුල ඔහු හෝ ඇය එම සිහින ලොවේ ඉලක්ක කරා සැබෑවට ගමන් ගැනීමට නිසඟව ම පෙළඹෙනු ලබන අතර,තම සිහින නිතර නිතර දැකීම තුල එම සිහින තම යටි සිත තුල තැම්පත් වී එම ඉලක්කවලට ළංවීමට උත්තේජනයක් ලබා දෙන බව පවසයි.

ලොව බොහෝ රටවල යමෙකු, යමක් නිතර නිතර මවා ගනිමින්, සිතමින් දිනක මේ දේ කරනවා යැයි සිහින දැකීම තුල ස්වභාව ධර්මයා එයට නිසඟව ම උදව් කරනු බවට පිළිගැනීමක් ඇති අතර එසේ සිහින දකිමින් නිතර තම සිහිනය තුල එය ළඟාකර ගැනීමට යත්න දරන්නා හට විශ්වීය ශක්තිය පවා එක් රොක් වී සහය වන බව මතය යි.

එසේනම් අප සිහින දැකිය යුතු ම නොවේ ද...?

මෙය බොහෝ විට බටහිර රටවල නිතැතින් සිදුවන දෙයකි.විශේෂයෙන් ම ප්‍රේමය වැනි කාරණා තුල බටහිර දී සිත් තැවුල් අවම ව එය විදීමටත්, අසියාතික රටවල එය විඳවීමටත් මෙම ෆැන්ටසිය මූලික කරුණක් ව ඇති බව ද දැක ගත හැක.

යුරෝපා රටක බොහෝ විට අවුරුදු 60  දී තම බිරිඳට,පෙම්වතියට රෝස මල් පොකුරක්, චොකලට් එකක් තෑගි දීම, හාදුවක් දීම වැනි දෑ අති සාමාන්‍යයවන්නේත්,අප රට තුල එය විහිළුවක් වන්නේත් ඒ නිසා නොවේ ද...?

මිනිසුන්,ජීවිතය විදිය යුතු ය. ජීවත් වීම විඳවීමක් වූ කල තමන්ට තමාව ම එපා වී ජීවිතය කලකිරීමට භාජනය වනු ඇත.

මිනිසුන් හට ජීවිතය විදීමට ඔවුන් තමාට ආවේනික ෆැන්ටසියක ජීවත් විය යුතුය.නමුදු එය අන් අයට හානි නොවන ෆැන්ටසියක් සේම,අද බොහෝ තරුණ තරුණියන් සිතන, මත් ද්‍රව්‍යයට(ගංජා,කුඩු,ඈෂ්,අයිස් වැනි) ඇබ්බැහි ව එම මත් ද්‍රව්‍යවලින් විකල්ව ලබන ෆැන්ටසියනම් නොවේ.

සිත නිරෝගීව,සිහි බුද්ධියෙන් සිත වෙසෙනා ෆැන්ටසිය යි.ප්‍රේමවන්තයෙකු තම පෙම්වතිය හා අනාගතය තුල ජීවත් වීම පිළිබඳ මවනා සිහින තුල ඔවුන් ලබනා තෘප්තිය ඒ උත්තේජනය ප්‍රේමයෙහි දී කෙතරම් ප්‍රභල වේ ද?
(නමුදු එය අවංක විය යුතුය.එකෙකු අවංකව ප්‍රේමයේ සිහින මවද්දී තම පෙම්වතා හෝ පෙමවතිය උන්නත් එකයි මලත් එකයි යන සිතැඟියාවක, රැවටිලිකාර ප්‍රේමයක් තුල පසුවන අනෙකා නිසා සිදුවන්නේ ප්‍රේමයෙහි අවංකයා දුකට පත් වීම සහ වංක වූ අනෙකා විසින් ම සිනහවට, විහිළුවට ලක්කර,සමාජ අඥාවට ද ලක්කිරීමට තරමට එවැන්නන් නින්දිත වීම ය.)

මෙය ජීවන ඉලක්ක කරා ද එක සේම බලපාන බව නූතන මනෝවිද්‍යාව තුල ද පෙන්වා දී ඇත.

මිනිසෙකුගේ ජීවන ඉලක්කයන් උදයේ අවදි වන මොහොතේත්,රාත්‍රියේ නිදන මොහොතේත් (එය නින්දත් නොනින්දත් අතර පසුවන මොහොතේනම් වඩා යෝග්‍ය වේ.)නිතර දැකීම තුල ඔහු හෝ ඇය තම ඉලක්ක කරා පහසුවෙන් ගමන් කරන බව පෙන්වා දී ඇත.

[සිත කොටස් තුනකට වෙන් කර විද්‍යානුකූලව මෙය පෙන්වා දී ඇතත් විද්‍යාත්මක වචන හරඹයකට වඩා සරලව කියවන්නාට පහසු වන ලෙස මෙසේ සටහන් කළෙමි.]

එබැවින් ඔබ සිහින දකින්න...!
සිහින කරා ගමන් කරන්න...!
දිනක ඔබ ජය ගන්නවා ඇත.

දොස්තර කෙනෙකුවීමට උත්සහ දරන්නා සාත්තු සේවකයෙකු හෝ වී නවතින බව ජන වහර තුල ඇත්තේ එබැවිනි.

තමාගේ ඉලක්ක ගත අරමුණු කරා යාමට සිහින දකින්න.එය තමාගේ සිහින ලෝකයක් විය හැක.ඔව් ඔබ සිහින ලොවක් තුල ජීවත් වන්න.දිනක,ඔබ සිහින එළිගැන්වෙනු ඇත.ඔබ දිනනු ඇත.

එසේ අරමුණු ගත සිහින නොදකින පුද්ගලයන්ගේ සතුට සැනසුම සාර්ථකත්වය බොහෝ දුර හෝ නැතිනම් එය කිසිදා නොලැබෙනු ද ඇත.එය විද්‍යාත්මකව ද ලොව සනාත කොට ඇත.

නමුදු තමාගේ සිහින පිටස්තරයන් හා පැවසිමේ දී පරිස්සම් වන්න. සමීපතමයාටවත් නොපැවසීම ඔබට යහපත උදාකරදෙනු ඇත.

නැතිනම් බොහෝ විට අනුන්ගේ කුණු රසට ඉව අල්ලනා, අනුන්ගේ දෑ කුණුකර හෝ විදීමට කැමති, හුරු පුරුදු වූ රටක දිවි ගෙවන ඔබ අන් අයගේ  සිනහවට, විහිළුවට ලක්විය හැක.

පූජාසනයේ ඔබ හිදුවා
ඔබට පුදන මේ ලෝකයමයි හෙට
ඔබට එරෙහි වි නැගිටින්නේ...

එවන් ගී ලියැවි, ජනප්‍රිය ව ඇත්තේ ද එවන් අධම සමාජයක වග දැක දැනුමට ය.

එබැවින් ඔබේ සිහින ඔබ දකින්න.සිතු දේ නොලැබි ගිය ද ඒ කාලය තුල ඔබ සිහිනයක හෝ සිතින් තුටින් සිටිනු ඇති.

එය සිහින නොදැක ඊයෙත් අදත් හෙටත් විඳවනවාට වඩා තාවකාලික හෝ සතුටක් වනු ඇත.
ඒ සිහින ඔබ ජීවත් කරනු ඇත.

සිහින හැබෑවෙන කල සතුට සේම සිහින බොඳව ගිය කල උපේක්ෂාව ද දරා සැනසුමට ද සිත හුරුවනු ඇත.

තණ අග පිණි බිඳක් සේ මොහොතකින් ගිලිහි යා හැකි දිවිය තුල අන් අයට කරදරයක් නොවි,වංචාවක්, කපටිකමක්, රැවටීමක් නොකර තමන්ගේ ම වූ සිහිනය,ෆැන්ටසියක සිත සතුටු ව තබා හැබෑවක ජීවත් වීම ජයග්‍රහණයක් නොවන්නේ කෙසේද...?

ජය!
අරවින්ද රත්මල්ගම_____✍️

Comments

Popular posts from this blog

මතක මිය ඇදෙන සඳ

පිරිමි නිරුවත.

බල්ලෙකුගෙ හදවත