මුහුද මැද සිතිවිලි..

සිඳු මැද සිතුවිලි......

ජර්මන් කෙල්ලකගේ දෑස්වන් ලා නිල් ව නොසැලෙන සයුරත්...
ඉතාලි ළඳකගේ ඉඟවන් නැව් බදේ වැදී ඉපිලී යන රල පෙළත්...
ප්‍රංශ යුවතියකගේ බඳ ඇඳී රටාවක වර්ණ කළඹන ඒ නිල් සුදුවන් දියවරත්...
රල බඳේ වැදී අවසන මහ මුහුදට ම දියව යන සරෙහි ආසියාතික ගැහැනියකගේ විලාපයත්...

එක්තැන්ව,
සියළු රහස් සඟවාගනිමින්,
බලන්නාගේ දෑස මෝහනය කරවන පැහැය, හැඩය, නිසල බව පෙන්වන ඈත දියඹ සහ සාගරය...,
පිරිමින් රවටනා ඒ සොඳුරු ළඳක්, නිතැතින් මා මතකයේ ඇඳිනි.

ගිලගත් නැව් ද සිඳු ලොව බොහෝ රස රහස් ද ඈ තම පතුලෙහි සඟවා ගනිමින් නිසලව හිදිමින් දෑස් නිලෙන් වශීකර,දනන් සිත් මෝහනය කරලීම,
ප්‍රේමවන්තයෙකු රැවටූ රුදුරු ප්‍රේමවන්තියක මට සහි ගන්වයි.

මහා නැව් ගිලගනිමින් දියවැල්, අගාධ රහස් සඟවා ගනිමින් පෙනුමින් මේ පියකරු දියඹට බියකරු බව දැන දැනත් මිනිසුන් පෙම් කරති.

බොහෝ ප්‍රේමවන්තයින්ගේ ඉරණම ද මෙයට වෙනස් නොවන්නේ කෙසේද...?
තමා ගිල්වා දමා තම ජීවිතය ම අගාධයට ඇද දමන බව දැනුන ද සමහර පෙම්වතුන් තම අහිමි ප්‍රේමය වෙනුවෙන් වැලපෙන්නේ ද,මේ දියඹට පෙම් බදින මිනිසුන් ලෙස නොවේ ද...?

අරවින්ද රත්මල්ගම_____✍️
22~7~20

Comments

Popular posts from this blog

මතක මිය ඇදෙන සඳ

පිරිමි නිරුවත.

බල්ලෙකුගෙ හදවත