ළමා අපචාර

😢

ළමා අපචාර...


නිතර බණ අසන උදේ හවා පිරිත් දමන රටේ කලින් කලට ළමා අපචාර ගැන කතා බහක් නැතිනම් රැල්ලක් නැග විත් යළිත් එය කාලෙයේ වැලි තලාවෙන් වැසී යයි.

ළමා අපචාර කෙසේ වෙතත් ලාංකීය ජන හදවත් සංවේගයෙන් දවාළු පළමු ළමා මිනී මැරුම සමන් කුමාර ඝාතනය ලෙස හැඳින්විය හැක.

එකල කවි කොළ, සිංදු පවා ලියවුණු මෙම ඝාතනයත් ඝාතකයින්ට අත් වු ඉරණමත් වෙනම ලිපියක කතා කළ යුතු දිර්ඝ සාකච්ඡාවකි.

ඉන්පසු දිගින් දිගට පියා දුවව, සීයා මිනිබිරියව වගේ ම ගුරුවරු ළමයින්ව අපචාරයට, දූෂනයට ලක් කළ හැටි අපට අසන්නට දකින්නට ලැබුණි.

සේයා දියණියගේ ඝාතනය එහි කූටප්‍රාප්තිය ලෙස හැඳින්විය හැක. එයට සමාජය තුල යම් කතා බහක් මෙන්ම නීතිය පිළිබඳවත්, ළමා සහ කාන්තා කටයුතු අමාත්‍යංශයේ රාජකාරි පිළිබඳවත් යම් යම් ප්‍රකාශ නිකුත් වුව ද එය ද කාලයේ වැලි තලාවෙන් වැසී ගියේය.

පුදුමයට කරුණක් නොමැත ප්‍රභාකරන් පවා පැවසුයේ සිංහලයාට ඕනෑම දෙයක් මතක ඇත්තේ සති දෙකක් පමණි යනුවෙනි.අනුන්ගේ කුණු රස බලන අනුන්ගේ කුණු ගොඩවල් ජීවිත කාලය පුරාවට මතක අප අවැසි දේ අමතක කරන්නේ සති දෙක ඉක්මවීමටත් පෙරය.

ඉන්පසු පසුගිය සති කිහිපයේ ළමා අපචාර මෙන්ම අපචාර සිදු කොට පැන ගිය උන් ගැන ද පොලීසිය පවා ප්‍රසිද්ධ මාධ්‍යය ඔස්සේ කතා බහ කළ ද එය යට යන්නෙ දින කිපයකට පෙර ගුරෙකු කළ හදියකිනි.

ළමා අපචාර කියු සැනින් ලාංකීය ජන සමාජයේ මනස සැදි ඇත්තේ දියණියන් හට වන අපචාර පිළිබඳ පමණක් බව මා කිව යුතු නැත.දෙමව්පියන් ද ආරක්ෂා කරගැනීමට වෙර දරන්නේ  දියණියන් පමණි.

නමුදු සමාජයට හෙලි නොවන පිරිමි අපචාර ලංකාව තුළ ඉතා ඉහළ අගයක් ගනි.එක් කලක ලොව සප්‍රසිද්ධ සඟරාවක පලවුයේ ඔබට ලාබාල ගැහැනු ගණිකාවක් අවැසිනම් පිලිපීනයටත්, ලාබාල පිරිමි ගණිකාවක් වැසිනම් ශ්‍රී ලංකාවටත් යන ලෙස ය.එය පසුව යන්තමින් ඉවත් කර ගැනුණි.

නමුදු ඉන් අදහස්වන්නේ ලංකාව තුළ පිරිමි ළමා අපචාර පහත ගොස් ඇති බව නොව යට ගොස් තිබූ බව ය.

එහි උච්චතම අවස්ථාව දෙදිනකට පෙර අත් අඩංගුවට ගත් ගුරුවරයාගේ කතාවෙන් පැහැදිලි වේ.වසර දහයක් තුළ විශාල ළමුන් ප්‍රමාණයක් අපචාරයට ලක් කිරීම,එම අපචාර රූපගත කර වීඩියෝ පට 100 ක් නිර්මාණය කිරීම සහ සමහර දරුවන්ට පාසල් නිල ඇඳුම් අන්දවා වීඩියෝ දර්ශන සඳහා යොමු කිරීම කෙතරම් භයානක තත්වයක් ද?

වසර දහයක් තුළ මෙය හෙලිදරව් නොවුයේ ඇයි? දරුවන් හට ඇති ලිංගික අධ්‍යාපනයේ අඩුව පමණක් ද? නැත්නම් මේවා දෙමව්පියන්ට ද ආරංචි වි ලැජ්ජාව සහ ලාංකීය සභ්‍යත්ව රාමුව ඔවුන්ගෙ මුව වසා දැමුවා ද?

අද බොහෝ දෙමව්පියන් ම නොදැන හෝ ළමුන් අපචාර සඳහා යොමු කරති. එයට රියලටි නම ඔබ්බවා සමහර ප්‍රසිද්ධ මාධ්‍යය තව තවත් උඩ ගෙඩි දෙති.

එක්තරා රූපවාහිනි චැනලයක අම්මාව නැටවූ සැටි මට මතකය. අම්මාගේ සළුපිළි අහසේ ය.ප්‍රසිද්ධිය සඳහා සළුපිළි අහසේ නොව එතනින් එහාට වුව යාමට සමහරු අකමැති නොවෙති.

තම දරුවන්ව ද එතනට ඇද දමන්නේ නොදන්නාකම නිසා ය.

ඒ වෙනම කතා කළ යුතු මාතෘකාවකි.ඉහත සඳහන් කළ ගුරුවරයා වසර දහයකට පසු අත් අඩංගුවට ගත්ත ද රෝහල් ගත කර තිබුණේ දරුවන් තිදෙනෙක් පමණි.

විහිළුවට කාරණය එය නොවේ.ලාංකීය නීතියයි.ළමා හා කාන්තා කටයුතු අමාත්‍යංශයේ ඉහළ නිලයක් දරන්නෙකු උජාරුවෙන් පැවසූයේ ඔහුට අවම වසර දෙකක් උපරිම වසර දහයක සිර දඩුවමකට යටත් කළ හැකිය කියා ය.

වසර දහයක් ළමුන් අපචාර කළ කුපාඩියෙකුට, ජඩයෙකුට උපරිම දඩුවම අවම වසර දහයක සිර දඩුවමකි.සිරගෙදර සහ එහි දඩුවම් ගැන මනා අවබෝධයක් ඇති අය දනිති වසර දහයක සිර දඩුවමක් ඊට කලින්  ගෙවා නිම කරන බව.

එසේනම් මේ දඩුවම් ප්‍රමාණවත් ද? එය නොසෑහෙන බව දැන දැනත් පාලකයන් මේවාට පිළියම් නොයොදන්නේ ඇය?

අපචාර 100 ක් කර 100 වැනි එක සමරා උත්සව පැවැත්වු හෙන්චයියන් පාලකයන්ගේ තුරුලේ ය.විදෙස්   කාන්තාවක් දූෂනය කර මරා දැමු ප්‍රාදේශීය සභා නායකයා පාලකයන් තුරුලේ ය.ගුරුවරු දණ ගස්සන ජඩයන් පාලකයන් තුරුලේ ය.ඉතින් පාලකයන් නීති සම්පාදනයට උත්සුක වේ ද?

යම් යම් නීති යාවත්කාලීන කළ බව අප දනිමු.නමුත් ළමුන් බොහෝ ප්‍රමාණයක් අපචාරයට ලක්කොට වීඩියෝ පට 100 ක්  නිපද වු පුද්ගලයාට හිමිවන දඩුවම දෙස බැලු විට අපට හැඟෙනුයේ මේ නීතියේ හඩැස් ඇති බව නොවේද?

නීතියේ හිඩසත්, දෙමව්පිය වගකීමත් පැහැර ගිය කල රටක, සමාජයක අනාගත පරපුර ගැන කුමන කතා ද?

ලොව වටිනාම දේ දරුවන්ට ය.ලංකාවේ එය අපචාරය ද? දරුවා රැකීම මෙන්ම තම දරුවාට නිසි ආරක්ෂණය ඇත්දැයි සොයා බලන්න.
තම දරුවා ප්‍රසිද්ධ කර ලබන මානසික සුවයට වඩා දරුවා ආරක්ෂාකර සුභදායී අනාගතයක් ලබා දීම වඩා වටිනේ ය යන්න මතක තබා ගන්න.

තම විශ්වාසවන්තයාගෙන් වැඩිපුර තම දරුවා ආරක්ෂා කර ගන්න.සාකච්ඡා, ලිපි සංවාද, හරසුන් දෑ ය.මේ ලිපියේ අරමුණ ද සංවාදය නොව තමන් නොදැන හෝ තම දරුවාට අකටයුත්තක් වන්නෙන්ම් එය වලකා ගැනීමටය.

මුහුණු පොත හරහා පවා තම දරුවන්ගේ රූප දමා කවි කතා ලියනු මා දැක ඇත.ලියන්න නිර්මාණ ඉදිරිපත් කරන්න. නමුත් එයට තම දරුවා අවභාවිතා නොකරන්න.

ඔබේ දරුවා ඔබේ වටිනා ම වස්තුවයි.සමාජයේ සියලු දරුවන් තමාගේ දරුවා ලෙස සිතන සමාජයක් අද නැත. ඒවා වචන පමණයි.අහිංසක මල් කැකුළු අනතුරේ ය.එයට නීති නැතිනම් තියෙන නීති නැමිය හැකිනම් පලකයා හෝ බලය ඇති තැනට අවැසි ලෙස නීතිය ක්‍රියාත්මක නොවේ නම් ඔබේ දරුවා රැක ගැනීමේ මහඟු වගකීම ඔබ සතු බව අමතක නොකරන්න.

නැතිනම් දිනක ඔබේ දරුවා ඔබට ම ඇඟුලි දිගු කරනු ඇත.ඇඟිලි දික් කළ ද එදිනට ඔබ ප්‍රමාද වනවා සේම දරුවාගේ අනාගතය නැවත සකස් කරගත නොහැකිව ඔබ ජීවත්ව සිටියදී ම මිය යනු නියතය.

ජය!
  1. අරවින්ද රත්මල්ගම_____✍️

Comments

Popular posts from this blog

මතක මිය ඇදෙන සඳ

පිරිමි නිරුවත.

බල්ලෙකුගෙ හදවත