ඩිස්නිලන්තයෙන් උගනිමු.


 ඩිස්නිලන්තයෙන්වත් උගනිමු.....


ප්‍රංශය කියූ සැනින් බොහෝ අයගේ මනසට නිරායාසයෙන් ම එන වචනයකි නැතිනම් නගරයකි පැරිස්.


සෑම වසරක ම එක් කාර්තුවක ප්‍රංශය තුළ රැකියාවෙහි නිරත වීම නියමිත කාර්‍ය්යක් වුව ද ඒ අතර වාරයේ පැරීසිය වෙත මා පය තබන්නේ එක් දිනකි හෝ දෙ දිනකි.එසේත් නැත්නම් පය තබන්නේ ම නැත.


ඒ යන්නේ ද මා කුඩා කල සිට ම ඇසුරු කරනා මිත්‍රයෙකු පැරිස්වල රැඳි සිටින නිසා ඔහු ඇරයුමට, ඔහු හා කාලය ගත කිරීමට ය.


එහෙත් පැරිස් යන සෑම දෙනාම සෙන් නදියට සේම  අයිපල් කුළුනට පෙම් බඳි. බොහෝ දෙනෙකු සිහින මවන්නේ ද සෙන් නදිය හා ඒ මහා දැවැන්ත කුළුන දැක ගැනීමට හෝ එහි කාලය ගත කිරීමට ය.


මා හටනම් ජනාකීර්ණ නගරයේ වන ඒ ජල කඳ නිකම්ම ජල කඳකි. ප්‍රංශ කුළුන යකඩ ගොඩකි. නමුදු බොහෝ අයගේ ප්‍රිය ස්ථානයකි.


නමුදු මා ප්‍රංශයේ වඩා කැමති ම තැනකි ඩිස්නිලන්තය. කුඩා ළමුන්ට වුවද මා යන සැම වසරක ම දොස්තර පුතා(මා විසින් මගේ මිත්‍රයාව හඳුන්වන්නේ එසේය.) මට ද එහි යාමට අවස්ථාව සලසලමින් ප්‍රවේශපත් මිල දී ගන්නේ ඔහුගේ දරුවන් ද රැගෙන යාමේ අභිලාශයෙනි.


ඩිස්නිලන්තයේ හැඩ ගැන නොව එයින් අපට උකහාගත හැකි දේ බොහෝ වන්නේ දැන් දේශිය දේ ඇගයීම (ප්‍රදර්ශනාත්මකව හෝයියා ) අරඹා ඇති නිසා ය.



අප මැටි ඇමතිවරයෙක් පත් කර ඇත. ඔහු යමක් කිරීමට වෙර දරණ බව සමාජ ජාලා අරක් ගත්තේ මිරිස්කුඩු ප්‍රහාරයට වඩා ප්‍රචාරයක් ලබා දෙමිනි.


අපට විදේශ විනිමය ඉපයිය හැක්කේ මැටිවලින් ම ද, මා එසේ පවසන්නේ බොහෝ මහාචාර්ය ආචාර්‍ය්වරු පවා මැටි වලින් එම කර්මාන්තය නංවාලීමෙන් විදේශ විනිමය ඉපයිය හැකි බව ලිපි මත පල කර තිබු නිසා ය.


නමුදු එම ඇමතිකම තවමත් ළදරු වුව ද අපට සංස්කෘතික අමාත්‍යංශයක් දන්න දවසේ සිට ඇත. අප ඉන් යමක් කිරීමට වෙර දැරුවේ ද...?


මේ ඩිස්නිලන්තය, විදේශ විනිමය, සංකෘතික අමාත්‍යංශය හා මැටි ඇමතිකම කෙසේ සුසංයෝජනය වේදැයි ඔබ සිතන්නේනම් දැන් අපි කතාවට බහිමු.


ඩිස්නිලන්තය යනු ලොව සෑම රටක ම සංචාරකයන් නරඹීමට කැමති ස්ථානයකි. ප්‍රංශය සංචාරක ව්‍යාපාරය ඉහළ රටක් වන අතර ආදායම් ඉපයීම් අතින් ඩිස්නිලන්තය සිදුකරන මෙහෙය අති විශාල ය.


අප මැටි ගැන දඟලන විට ඉන්දියාව එම ඩිස්නිලන්තය වෙලා ගෙන ඇති බව ඔබ දන්නවාද...?


මා පමණක් නොව බාල, මහලු, ළදරු යන සියල්ලන් ම  ඩිස්නිලන්තයේ මල්වෙඩි සංදර්ශනය හැරුණු කොට ප්‍රියතම අංගයකි, නෙක විසිතුරු නැටුම් වැයුම් ගැයුම් සමඟින් ඩිස්නිලන්තය පුරා වීදි සරණා පෙරහැර. එය විචිත්‍රවත් ය. ඉහළ සංචාරක ආකර්ෂණය හිමිකර ගනී.


මෙම පෙරහරේ සංගීතය ඉන්දියානු ආර නර්තන, සංගීතය,බෙර ප්‍රමුක වූ වාද්‍ය  භාණ්ඩ, ඇඳුම් විලාසිතා සමඟින් ඉන්දියානු සංස්කෘතික හැඩ තල ගත් නිර්මාණ පමණක් නොව හිංදි ගී කොටස් පවා ඔබ්බවමින්  ඉන්දියාව තම සලකුණ තැබීමට සමත්ව ඇත.



ගැටබෙර, තම්මැට්ටම්, නලා පමණක් නොව උඩරට, පහතරට නැටුම් අපට උරුම අපේ කම කියන දෑ ය. කොහොඹ කංකාරිය උඩරටින් එන විට පහත රට පිනුම් නැටුම් ඇඟ කිලිපොලා යන බව අප දනිමු.


පහත රට යක් බෙරයට ඇගේ මවිල් කෙලින් වන බව ද අප දනිමු.එවැනි දෑ තුළින් ලොව ජය ගන්නවා වෙනුවට අද පහත රට ගම්ඩුවකට නැට්ටුවන් සොයා ගැනීම පවා අසීරු වී ඇති බව ඔබ දන්නවා ද...?


එදා දහ අට සන්නිය සෑම දරුවෙක් ම දැක ඇතත් රෑ එළිවන තුරු ගම්මඩු වල නිදි වරමින් රසවිදි පරපුරක් සිටියා උවත් අද ඒවා පරිහානියට ගොස් ඇත. ඒවාට නිසි අනුග්‍රහයකත්වය සංකෘතික අමාත්‍යංශය ලබා නොදෙන තත්වයක දැන් ඒවා නමට පමණක් සීමාවන තැනට පත්ව ඇත.


අප අපට උරුම ලොව ජයගත හැකි දෑ කුණු කූඩයට දමන විට ඉන්දියානුවන් ලොව ජය ගැනීමට ගෙන ඇති ඒ පියවරවල් කෙතරම් අග නේද...?


1998 දී (මාගේ මතකය නිවැරදි නොවේනම් ඒ වසර පමනි සිද්ධිය සත්‍යයි.) හැන්සාඩ් වාර්තාවේ බන්දුල ගුණවර්ධනයන් පැවසු කතාවක සඳහන් වන්නේ අපට ජලය පවා විකිණිය හැකි රටක් බව ය.


ඒ එදා ය. ඇමතිකම් නැති කල ය. අද ඒ ගැන කතා නැත. ලොව ජය ගැනීමට හැකි යැයි යම් උත්සහයක් සංගීත ක්ෂේත්‍රය තුළින් භාතිය සංතුස් දැරූ බව මතකය.


එහි ප්‍රථම උත්සාහය ලෙස ඔවුන් "සිරි සඟ බෝධි මාලිඟාවේ දි ....." ගීතය බටහිර ආරට ගැයීමට ගොස් අනාගත් අතර ඒ වරද නිවැරදි කිරීමට කිසිවෙකුත් ඉදිරිපත් නොවිය.


අප වෙනත් රටකින් පැමිණන සුදු මහතුන් හට අපේ ආහාර ප්‍රවර්ධනය කරනවා වෙනුවට ෆ්‍රයිඩ් රයිස් වැනි අපට ආවේනික නොවු දෑ විකුණයි.


තැඹිලි, කුරුම්බා පිරි රටක විදේශිකයන්ට පැණි බීම විකුණන අප දේශීය දෑ තුළින් ලොව ජය ගන්නේ කේසේදැයි සිතිය යුතුය.


ඉන්දියානුවන්ට සේම පැරීසිය තුළ පමණක් නොව ලොව ඕනෑම තැනක ජයගත හැකි සංකෘතික දායාදයන් අපට හිමි වුවද කිසිඳු පාලකයෙකු එය ප්‍රවර්ධනය කිරීමට සිතා නැත.


මන්ද ඉන් ඔවුන්ට ප්‍රතිලාභ නොලැබෙන නිසා විය හැකිය. මැටි භාණ්ඩ සදා ලොව ජයගන්නවාට වඩා වැඩි විනිමයක් ද සීඝ්‍ර ජයග්‍රහණයක් හිමි කරගත හැක්කේ මෙවැනි පාරම්පරික සංස්කෘතිකාංග මඟින්  විදේශිකයන්ට අලුත් නැවුම් අත්දැකීමක් රසවින්දනයක්  ලබා දීම තුළින් බව ඉගනීමට සංකෘතික ඇමතිවරයාව ඩිස්නිලන්ත සංචාරයකට යැවිය යුතුයැයි මට සිතුණි.


නමුදු පලක් නැත. සංචාරයට හොර අඹුව රැගෙන ගොස් ඇයට අවැසි දෑ ලබා දී සැප ගෙන මහජන මුදල් ද විනාශ කර නැවත පැමිණනවා හැර ඔවුන් උගත් යමක් හෝ රටව්ට ගෙන ආ හෝ එන දෙයක් නැත.


විදෙස් සංචාරවලින් යමක් ඇමතිවරු උගනිනම් ලංකාවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ සිට ඇමතිවරු දක්වා මෙතෙක් කල සංචාරවලින් ලද අත්දැකීම්වලින් රට මේ වන විටත් ස්වයංපෝෂිතව සුර පුරයක්ව  තිබිය යුතුම ය.


ජය!


අරවින්ද රත්මල්ගම_____✍️

25/09/21


Comments

Popular posts from this blog

මතක මිය ඇදෙන සඳ

පිරිමි නිරුවත.

බල්ලෙකුගෙ හදවත