කොලරා කාලේ ආලේ..
කොලරා කාලේ ආලේ..කෑවා මගේ කාලේ..
===================================
මා බොහෝ තැන්වල ඉතා හොඳ කෘතියක් ලෙස සටහන් දැක ඇති නමුදු කිසි දින කියවීමට ඕනියැයි සිතා සිටි පොතක්නම් නොවේ.
කෙසේ වෙතත් ගියවර ලංකාවට පැමිණ, මරදාන පරණ පොත් කඩ අවුස්සා පොත් සොයා මිල දි ගන්නා විට එහි හිමිකාර අංකල් "ආ පුතා මේං මේකත් ගන්න" යැයි ඉතා අඩු මිලකට පොත ලබා දුන් නිසාත් පොතෙහි කතුවරයා වූ ගබ්රියෙල් ගාර්සියා මාර්කේස්, සුප්‍රසිද්ධ කතුවරයෙකු වන නිසාත් නිකමට මෙන් පොත ගතිමි.
මා පොතක් කියවීමට ගත් කල එක දිගට කියවීම පුරුද්දයි. කොපමණ තෙරුම් ගැනීමට අපහසු පොතක් වුවත් එය මා එක දිගට කියවා ඇත්තේ තොරතුරු ද සොයමින් විදිමින් ය.
අහෝ...මාගේ කාලය....!
මෙය අතට ගත් දින සිට කිසිඳු පොතකට වැය නොකක තරමේ කාලයක් මා අතින් වැය විය. මන්ද එතරම්ම වැදගම්මකට හිමිකම් නොකියන පොතක් නිසාවෙනි.
අප ලාංකිකයන්, කතෘගේ නම ප්‍රසිද්ධනම් හෝ කිහිපදෙනෙකු හොඳයි කීවේනම් හෝ එම පොත ගැන වරදක් දුටුව ද ඒ ගැන කතා කිරීමට බිය වෙති.
ඇත්තට ම මෙම කොලරා කාලේ ආලේ හොඳ පොතක යැයි පවසන්නේ කුමක් නිසාදැයි මටනම් නොතේරේ. මෙය ප්‍රේම කතාවක් බව සැබවි. තම ප්‍රේමය වෙනුවෙන් වසර පනස් ගණනක් බලා සිට ප්‍රේමවන්තිය හා මහලු වියේ නිදි වැදීමක් ගැන කිසිඳු හරයක් නැතිව වැල් වටාරම් ගිය පොතකි.
කොලරා කාලේ හොඳයැයි අගයන බොහෝ දෙනෙක් ලාංකේය ස්වතන්ත්‍රකරුවන්ට පලු යන්න බැණ වදින්නේ කුමන පදනමක් මත ද...?
දෙපා අහිමි සංසලා ගැන හඬා වැටෙනා ධනුක ගැන ලියු සුජීව ප්‍රසන්න ආරච්චිගේ ප්‍රේම කතා ස්වතන්ත්‍රකරුවෙකු වශයෙන් මීටත් ඉහළ තත්වයක ඇති බව මට හැඟෙයි.
සුජීවගේ පරිප්පු හොද්දට බණින නමුදු ඒ පරිප්පු රෙසපිය,කියවන්නාගේ නාස්පුඩු තුළින් මොළයට විනිවිඳ රස නහර පිනා යන ලෙස සුජීව ලියා ඇති සැටි මා වරෙක කියවා ඇත.
සීගිරි නවකතාවේ වෙල්යාය අසල සිටිනා ප්‍රේමවන්තයා තම ප්‍රේමවන්තිය ගැන සිතනා විට වෙල් යාය සිප හමනා සුළඟේ සිහිලෙන් ප්‍රේමවන්තයාගේ පපු කුහර පිරී යන මිහිරියාව පාඨකයාට ද ගත හිරිගඬු ගන්වා දැනෙන සේ ඔහු ලියා නැති ද...?
මා මෙහි නිදසුනක් ලෙස ගත් ඔහු ගබ්රියෙල් ගාර්සියා මාර්කේස් තරම් විශිෂ්ට ලේඛකයෙකු ද නොවේ. මාර්කේස් හා සුජීව මා සංසන්දනය කරන්නේ ද නැත. නමුදු ගබ්රියෙල් ගාර්සියා මාර්කේස් වැනි ලෝ පතල කතෘ කෙනෙකුගේ මේ ලිවීමනම් ඉහළ තලයක නැත.
වසර පනස් ගණනක් බලා සිට වයස හැත්තෑ ගණනේ දී නිදි වඳින මහලු ප්‍රේමයට වඩා මටනම් කකුල් පණ නැති සංසලා ළඟ හඬා වැටෙනා ධනුකලාගේ ප්‍රේම කතා ඉහළ බව පෙනෙන්නේ කාරණා කිහිපයක් නිසා ය. එම කෘතිය ස්වතන්ත්‍රයකි. අනෙක සුජීව යනු ලෝ පතල ලේඛකයෙක් නොවන නිසා අඩුපාඩු තිබුණ ද සමාව දිය හැකි වීමයි.
අපේ ස්වතන්ත්‍රකරුවා මරා දමා, විදෙස් රටක පොතක් අගයමින් එය සුප්‍රසිද්ධ කතුවරයෙකුගේ වු පමණින් උසස් කෘතියක් යැයි පැවසිය යුතුම ද...?
මෙතෙක් මෙම කොලරා කාලේ ආලේ පොත හොඳ පොතක් නොවේයැයි මා කිසිඳු තැනක එකඳු සටහනක් හෝ දැක නැත.
නමුදු මට අනුවනම් මෙය එක තැන කැරකෙනා, එකතැන පල් වෙන කිසිඳු කලා රසයක් හෝ නොමැති නීරස වැල්වටාරම් දොඬවන, විකාර ආල කතාවකි.
පොතේ අවසාන භාගය, අවසන් පිටු කිහිපයනම් පාඨකයා බැඳ තබාගන්නා ලෙස ලියා ඇත. පොතේ අවසානය වන විට පාඨකයාට මැද අමතක වීම නිසා පොත හොඳ බව පවසනවාදෝ යැයි මා නොදනිමි.
නමුදු පිටු 558 ක් කිසිඳු සහසම්බන්ධතා නැති විකාර රූපී කතා එකතු කොට පෙළගස්වා ඇති බවනම් කිව යුතුය.
ෆ්ලොරෙන්තිනෝ අරීසා ගිලුන නැව් සොයා යන ගමන් පිළිබඳ පමණක් නොව ඒවා සෙවීමට කිමිදුම්වලට සහභාගි වන කොලුවාගේ ජාතකය පවා ලියා පොත දිග් ගස්සා ඇති බවත්, ඉන් පොතට සිදුව ඇත්තේ හානියක් ම පමණක් බවත් මාගේ හැඟීම යි.
ෆ්ලොරෙන්තිනා අරීසා නිදි වඳින ගැහැනු පමණක් නොව ඔහුගේ මව බඩු උකස්ගන්නා ක්‍රම ආදි කිසිඳු සබඳතාවක් නැති විකාර කතා ගොන්නකින් පොතේ මැද පුරවා අවසන් පිටු කිහිපයෙන් පාඨකයාට ඒවා අමතක කරවා ඇත.
අවසන මහලු ෆ්ලොරෙන්තිනා අරීසා සහ ෆර්මිනා දාසා ගේ මහල් ප්‍රේමය ජය ගැනීම මත පාඨකයාගේ මනස එතැනට ලොප් වීමෙන් නීරස වූ පොතෙහි මැද භාගය අමතක වී ගොස් ඇතිදොයි මට සිතේ.
ප්‍රේමයට වයස් සීමා නැත. එය සැබෑවකි. නමුදු මෙයනම් ලෝ සුප්‍රසිද්ධ ලේඛකයෙකුගේ නීරස පොතක් බවනම් කිව යුතුව ඇත.
මීට වඩා හොඳ නවකතා ලංකාවේ නවක ලේඛකයන්ගෙන් බිහි ව ඇති බව නම් නොබියව පැවසිය හැකි වුවත් අවාසනාවකට ඒවාට නිසි ඇගයීමක් නොමැතිකමත්, අනවශ්‍ය තරගකාරීත්වයත්, සමහර ප්‍රකාශකයන්ගේ මුදල් තණ්හාවත්, ඔවුන් බල ඒකාධිකාරයකට මාන බලන නිසාත් ඒම ලේඛකයන් කැලේ පිපි කැලේ ම පරව යන තැනට පත්වීම රටේ අවසනාව ද වේ.
ජය!
අරවින්ද රත්මල්ගම _____✍️
15/10/20
Comments
Post a Comment