මධුෂ් මැරුනාද?


 මධූෂ් කුඩු පෙන්වන්නට ගොස් මරුට....

වැලිකඩ නාටකයේ දෙක.

==================================


මා නිවසේ සිටින දිනට බොහෝ විට මාගේ ජංගම දුරකතනය සක්‍රීය කරන්නේ උදෑසන මාගේ සියලු වැඩ හමාරකර ය. මන්ද සක්‍රීය කළ විගස ලොකයේ ම කුණු කන්දල් හිස මත කඩා වැටීම හේතු කොටගෙන මාගේ දවසේ ආරම්භය අවුල් සහගත නොවිය යුතු හෙයිනි.


නමුදු ඉදහිට රාත්‍රී වැඩ මුරයෙහි යෙදුන දිනට උදෑසන ම දුරකතනය සක්‍රීය කරන්නේ සේවස්ථානයේ රැඳී සිටම ය. එවැනි දවසක් වූ අද දින ද උදයේ ම දුරකතනයට පණ දුන් සැනින් පුරුදු ලෙස හඬ නඟා ගලා එන කෙටි පණිවිඩ බොහොමයකි.


එම පණිවිඩ කියවා බැලීමට ප්‍රථම ඇමතුමකි. ඒ ලංකාවෙනි.


"ගුඩ් මොර්නින්..." ඒ මාය.


"මොන මොර්නින් ද ...උඹ ඇහැරෙනකොට වැඩේ හරි..." ඒ මට හුරු පුරුදු හඬකි.


මොකක් ද..?


මධූෂ්ට ගහල...


නෑ..!


නෑ නෙමේ ඔව්.


මධූෂ්ට ගහල...කතාවට එසේ කියන්නේ වෙඩි තැබීමක් බව කිවයුතු නොවේ.


ඉතිං..!


ඉතිං බඩු එතනමයි..


නෑ..!


ඔව්...


දැන් හරි ද..


ඒක දන්නෑ..කට්ටිය හැපි..මෑතක අහු වුණ ලොකු ම පාතාලයනේ බං...


රෙද්ද ඕකට ගහල ලොකු උන් ටික බේරුණා කියල තේරෙන්නෙ නැද්ද උඹට..


ඔව් සමහර විට..ඒත් මූ පතාලේ උඩින් ම හිටි එකානෙ බං..


මා හට නම් ගැටළු විශාල ප්‍රමාණයකි.


වැලිකඩ හිරගෙදර දී පාතාලයන් හට හිරගෙදර තුළ දී ම දණ ගස්සා වෙඩි තබා මැරූ බවට තොරතුරු ඇතුළත් කර Kasun Pussewela නම් මාධ්‍යවේදියා ගවේෂනාත්මක පොතක් පවා පල කළේය.


එහිදී මරා දැමු සියළු පාතාලයන් දත් රහස්වලටත් වඩා ප්‍රමාණයක් තනි මධූෂ් දන්නා බව රට ම දනි.


"අපව පාතාලයෝ කෙරුවෙත්, කුඩු දෙන්නෙත් ඔය මහ ලොකු මිනිස්සු. මම ඒ ගොල්ලන්ගෙ රෙදි ගැලවෙන්න සියල්ල හෙලි කරනවා"


යැයි මධූෂ් පවසා ඇති බව පසුගිය වකවානුවේ සුප්‍රසිද්ධ කතාන්දරයකි.


එසේනම් මේ ඒ හෙලිකිරීම් වසා දැමීමක් ද? වැලිකඩ සිද්ධියේ ද මෙවැනි කතා මෙවැනි හෙලිකිරීම්වලට ආසන්න මොහොතක ඔවුන් මරා දැමු බවට කසුන් පුස්සැල්ලගේ පොතේ සඳහන් ය.


එසේනම් මේ එකම නාටකය පිටපතක් නැවත රඟ දැක්වීම ද?


එය සත්‍යනම් ඉහළ පෙළේ පුටු රත්වන්නට ඇති බවට සැකයක් ද නැත. මෙය වෙනදා ආයුධ පෙන්වීමට ගොස් මරා දැමු පාතාලයන්ගේ ගණයට ගත නොහැක්කේ එනිසා ය.


මෙය 12.12.12. වැලිකඩ හිරගෙදර දණ ගස්සා මරා දැමු කතාන්දරයටත් වඩා එහා ගිය කතාන්දරයකි. නමුදු මෙය ද දෙසතියකින් රටේ ජනතාවට අමතකව කාලයේ වැලිතලාවෙන් වැසී යනු ද ඇති.


මධූෂ් අත් අඩංගුවට ගත්, දින මා 77 න් පසු පාතාලයත් ජනපතිවරුන්ගෙන්, මැති ඇමතිවරුන්ගෙන් ඔවුන්ට ලැබුණ අනුග්‍රහයත්,පාතාලය දේශපාලනය විසින් පෝෂණය කළ ආකාරයත් පිළිබඳ ලිපියක් ලියා පල කළෙමි.


එහි දී මා මුහුණු පොතේ මිත්‍ර අයියා කෙනෙකු කිවේ,


"මල්ලී පරිස්සමෙන් ඔය ගැන ලීවා ඇති නේද බං" කියාය.


සාමාන්‍ය සමාජය එසේ ය. පාතාලයට ඇති හයිය එතරම් ය. ඒ දේශපාලන අනුග්‍රහය ද ලැබෙන නිසා ය. මිනිසුන් සමාජමාධ්‍ය ජාලාවල පවා ලිවීමට බය ය. ඒ කතාකිරීමේ නිදහස තියන රටේ හැටි ය.


එබැවින් මේ කතාව ද ප්‍රේමදාස සමයේ ඇතුළත්මුදලි ඝාතනයට අහිංසක දෙමළ තරුණයෙකු ඇඳාගත්තා සේ ඝාතයෙකු ද සමහර විට ඉදිරියේ දී ඉදිරිපත් වනු ඇති. ඉන් කතාව නිම කරනු ද ඇති.


මධූෂ් මරා දැමීමට සතුටුවනවාට වඩා මට ඇති වූයේ සංවේගයකි. ඒ මධූෂ් ගැන නොවේ. ලාංකේය ජනතාව ගැන ය.


මා පාතාලයෙකු වෙනුවෙන් පෙනී සිටින්නේ නැත. පාතාලයේ අතීතය මා ලියා ඇත. ඒ නිසා නැවත නොලියමි.


පාතාලය නිදහසින් පසු දෙවන මැතිවරණය වන අතීතයකට දිව ගිය ද 77 න් පසු වර්ධනය වුව ද 88 න් පසු දේශපාලකයන් විසින් පෝෂණය කළා වුව ද ආයුධ පෙන්වීමට ගොස් මරා දැමීම දිව යන්නේ චන්ද්‍රිකාගේ පාලනය අවසන් ව මහින්ද පාලන සමයත් සමඟ ය.


එහි හොඳ නරක කතා නොකරමි. නමුදු මධූෂ් මරා දැමීම ගැන කීමට එක් දෙයක් ඇත.


මධූෂ් අවුරුදු එකහමාරක පමණ සිට අත්අඩංගුවේ සිටියේ ය. ඩුබායි සිට මෙරටට ගෙනා මධූෂ්ව වසර එකහමාරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ රඳවා තබා ගනිමින් ප්‍රශ්න කළ ද මෙසේ කුඩු හෝ ආයුධ හමු වූයේ නැත.


හිටි හැටියේ දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ යටතේ ඇති කොළඹ අපරාධ කොට්ටාශයට භාරදුන් පසු මධූෂ්ට කුඩු පෙන්වීමට සිතීම පුදුමයක් නොවේ ද?


එසේනම් මෙය ලංකාවේ අපරාධ සම්බන්ධ ඉහළ ම ආයතනයේ නොහැකියාවත් රට ට හෙලිවීමක් ලෙස ගණන් ගැනිය නොහැකි ද?


එසේ නැත්නම් ලංකාවේ අපරාධ සම්බන්ධ ඉහලම ආයතනයටත් වඩා දේශබන්දු තෙන්නකොන් මහතාව පාලකයාට විශ්වාසවීද?


මෙරට පාතාලයේ ගොඩ් ෆාදර් නාවල නිහාල්ට වඩා දේශපාලන සබඳතා මධූෂ්ට තිබූ බව නොරහසකි. මෑත කාලයේ මත්කුඩු රටින් තුරන් කිරීමට තැත් දරයි. මත්කුඩු හා අනෙකුත් ජාවාරම්වලට දේශපාලනයේ ඉහළ පුටුවල සම්බන්ධතා ගැන දන්නා පුද්ගලයෙකි, මධූෂ්.


මධූෂ් අත්අඩංගුවට ගත් පසු දේශපලනයේ නොව ආරක්ෂක අංශවල ද සමහර ඉහළ පුටු රත්වන්නට  විය.


අද....


මධූෂ් මරා දමා ඇත.


සතුටු වීම නොව අප දුක්වන්නෙමු.


මන්ද මධූෂ් යනු අනුරපුරේ sf ලොක්කලා වැනි ප්‍රාදේශීය පාතාලයෙන් නොවේ. වටේ හොර ගෑනු තියන්, කුඩු ටිකක් විකණා, ඇග පත හදාගෙන, ස්ත්‍රී පුරුෂ ආකර්ෂණය දිනාගත් ගොං පාට් දමපු පාතලයෙකු නොවේ.


මධූෂ් රියල් පාතාලයෙකි. රට ම වෙළමින් රටපුරා අණසක සියුම් ව පතුරා දේශපාලන ආරක්ෂක අංශ හයිය ඇතිව සූක්ෂම ව පාතාලය මෙහෙය වූවෙකි.විදේශිය මත්කුඩු ජාවාරම ලංකාවේ මෙහෙය වු ජාත්‍යන්තරයට ලංකාව අපරාධ සම්බන්ධයෙන් ඉහලට ගෙන ගිය ප්‍රධානියාය. කොටින්ම කුඩු මාෆියාවේ එතෙක් මෙතෙක් හමුවූ මහ මොළකරු මොහු ලෙස හැඳින්වූවාට වරදක් නැත.


එනිසා මෙය SF ලොක්කා වැනි ලපටි පාතාලයන් නොව වැලිකඩ වැනි මහා ඝාතනයකට එහා ගිය කතාන්දරයක නිමාවකි මේ. මෙය රටේ කුඩු ජාවාරම නොව වෙනත් බොහෝ ජාවාරම් හෙලී වීමට, හෙලි කර ගැනීමට තිබූ මෑත කාලයේ එක ම මග විනාශ කර දැමීමකි.


ඉතිං වසර එකාහමාරකට පසු කුඩු කිලෝ විසි දෙකක් පෙන්වීමට යාමට මධූෂ්ට හිතුණේ ඇයි ?

කුඩු කන්ටේනර් ගණන් ගෙන්වන මධූෂ්ගෙන් සොයා ගත හැකි වූයේ කුඩු කිලෝ විසි දෙක පමණ ද?


එය හරියට රත්තරං නැව් පිටින් වූ LTTE ආයුධ සැපයුම්කරු වු කේ.පී. නොහොත් කුමරන් පද්මනාදන් හමුවී රන් නැව අතුරුදහන් වූවා සේ ය.


අනෙක වසර එකාහමාරක් රැඳවුම් භාරයේ සිටි පසු, පාතාලයන්ට ඇතුළත් එළිය සේ ය. ලංකාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව යනු අපරාධ පිළිබඳ දක්ෂ ම හා ඉහළ ම ආයතනය බව දනිමු.


එහි වසර එකහමාරක් රඳවා සිටි මධූෂ්ව පරිභාහිර ආරක්ෂක අංශයක භාරයට පත්කර දින කිහිපයකින් ඔහු සඟවා තැබූ කුඩු හෝ ආයුධ හෝ පෙන්වන්නට එකඟ වීනම් එය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නොහැකියාව පෙන්නුම් කරන්නක් ද?


පෙර හදිසි නීතිය යටතේ ද ඔය වැනි රැඳවුම් නියෝග මත රඳවා ගත් පුද්ගලයින් ගැන අපි දනිමු. නමුදු අද එය වෙනස් මුහුණුවරක් ගෙන ඇත.


මේ නාටක අවසන් වේද? 


බදියුදීන් ඇල්ලීම, කොරෝනා වසංගතය වැනි නාටකවලට වඩා අතිභිහිසුණු නාටකයකි මේ අවසන් වූයේ.


මේ කාරණයේ දී පිටින් පෙනෙනා පාතාලය වැනසීමට අපි සතුටු වෙමු. නමුත් යටින් වන දෑ පිළිබඳ අපි නෑසු කණ් ව හිදිමු. ලංකාවේ සියල්ල දේශපාලන ගේම් බව මහ ජනයා කවදා වටහා ගනී ද?


පාතාලය වැනසීම, කුඩු ජාවාරම තුරන් කිරීම වැනි අති සුන්දර බොර්ඩ් ලෑලිවලට යට වි ඉන් මන්මත්වන පුරවැසියා, තමා දේශපාලන රූකඩ බවට පත්ව දේශපාලකයාට අවැසි ලෙස නැටවෙනා බව කවදා තෙරුම් ගනී ද?

ජය!

අරවින්ද රත්මල්ගම _____✍️

20/10/20

Comments

  1. You are clearly pointing finger at former and current Rajapaksa govt for many crimes (mostly politically biased speculations)

    Yahapalana govt had this guy for a while, where are the big names? Did they wait for the new govt to find out the big names from Madush.

    Police did a good job (however unlawful maybe) Do you think keep using him until he get bail is better than killing?

    Sad to see people crying for innocent underworld (yes they have human rights)Did you see the photos of innocent people on prison roof with minimum 5 T56s could be identified? Did you see STF taking cover including DIG Ranawna when T56 bullets hit the road and the tress across the road?

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

මතක මිය ඇදෙන සඳ

පිරිමි නිරුවත.

බල්ලෙකුගෙ හදවත