ආයම්මා..


 තම දරුව ගෙදර දමා නොරටක දරුවා නලවන අපේ අම්මා..[ආයම්මා]

==========================================================


තමරට ගම ඇරලයි ආවේ..

ගේ දොර ඇරලයි ආවේ..

නෙත පිරි කඳුළිනි ආවේ..

නුඹ නළවන්නයි ආවේ...


කාන්තාවක් රැකියාව සඳහා විදෙස් ගත වීම තුළ එම පවුල් පසුබිමේ ඇති වන ගැටළු ගැන කතා බහට ලක්කරන කිසිවෙකුත් එම කාන්තාව මුහුණ දෙන මිල කළ නොහැකි සිත් වේදනාවන් ගැන කතා කරනුයේ ඉතා සුළුවෙනි.


මොනිකා රුවන්පතිරණ යනු කාන්තා පීඩනය ගැන ප්‍රායෝගිකව තම කවියෙන්, සමාජය දැනුවත් කළ කවිදි‍යකි.


කාන්තාවක් තම ගම රට හැරදා සතුටින් වෙනත් රටක බැල මෙහෙවරට යයි ද? මෙම කවි පද හතර කියවු මා හට වෙනත් රටවල දරුවන් නළවමින්, පැය විසි හතර පුරා තම රටේ තනිකර ආ තම දරුවා ගැන හිතන, විඳවන, පිච්චෙන අම්මා කෙනෙකුගේ වේදනාව කෙතරම්දැයි හැඟිනි.


අද කාන්තාව තම රට හැර වෙනත් රටක සේවයට යන්නේ සතුටින් ද? බොහේ විට සතුටින් බව හැඟවුව ද ඇය ඇතුළතින් හඬාවැටෙන සැටි කිසිවෙකු සිතා ඇත් ද?


අද මුහුණු පොත හරහා බොහෝ විදෙස්ගත සහෝදරියන් සිනා මුසු මුහුණින් පිංතූර දැමුව ද සමාජයට තමා සතුටින් බව හැඟවීමට යම් යම් දෑ ලියා පල කළ ද ඇගේ කඳුළේ වේදනාව ඈ හිස තබනා කොට්ටය හැර කවුරුන් දනි ද?


තම ගම රට හැර දා නෙත පිරි කඳුළින් නුඹ නළවන්නයි ආවේ...


ගම රට හැර මැය පැමිණ ඇත්තේ වෙනත් රටක දරුවෙකු බලා ගැනීමට ය. එසේ වෙනත් රටක දරුවෙකු නළවන ඇයට සැනසීමක් සතුටක් හිමි ද?


නිදි සුවලත් විගසින්නේ..

මගේ ලොව මට හමුවන්නේ..

නැත ඔබ ඒ වග දන්නේ..

නුඹ නාඬා නිදි යන්නේ..


තම ගම රට හැරදා පැමිණ අනුන්ගේ දරුවෙකු නළවා නිදි කරවන ඇය, එම දරුවා නිදා ගත් පසු ඇගේ ලොවට පිවිසෙනු ඇත. ඇගේ ලොව කොහෙද ?

ඇගේ ලොව ඇත්තේ ඇගේ දරුවා ලඟ විය නොහැකි ද? 


අද බොහෝ කාන්තාවන් ආර්ථික ගැටලු නිසා තම දරුවා හැර දමා විත් මෙසේ වෙනත් රටක ආයම්මා කෙනෙකු වි ඇත. නමුදු ඇය සිතින් තම දරුවා ළඟ නොවේ ද? ඒ ගින්දර, ඒ වේදනාව නොනිදන මේ දරුවා පමණක් නොව වෙන කිසිවෙකුත් නොදනි.


මේ දරුවා නිදිගත් විඟස ඈ සත්සමුදුරින් එහා වෙසෙන තම සැමියා සමඟ බොහෝ විට සිනාසී කතා කරනවා ඇති, තම උණුසුම අහිමි තම දරුවා සමඟ සිනාසෙමින් කතා කරනවා ඇති.

නමුදු ඇගේ සිනහව යට සැඟවුණ වේදනාවන් දුක දන්නේ, ඇය ම නොවේ ද?

දසමසක් කුස හොවා වැඳු දරුවෙකු තනිකර වෙනත් රටක ආයම්මා කෙනෙකුවීමට කිසිඳු මවක් සිහින දකින්නේ නැත.


මැද පෙරදිග හා ලෝකයේ දියුණු ම රටකට හෝ තම දරුවා අත හැර යාමට මවක් කැමති නොවුව ද තම පවුලේ ආර්ථික ගැටළු විසදා ගැනීමට ඇයට එම තීරණය ගැනීමට සිදුව ඇත.


පවුලක මවක් නැති කළ එම පවුලේ සැමියා කෙසේ වෙතත් දරුවන්ගේ මනසට බලපාන අහිතකර බලපෑම කෙතරම් වුව ද, මවට දරුවා හැර දමා වෙන රටකට යාමට සිදුව ඇත.


අද මුදල් මත සියළු තීරණ ගත යුතු වි ඇත. දරුවෙකු ළඟ පියෙකු නොමැති කල මෙන් නොව මවක් නොමැති විට දැනෙන අඩුව කෙසේ පුරවම් ද?


අනුන්ගේ දරුවෙකු හඬන කල නළවා නිදි කරවනා ඇය, ඉස්පහසුවක් ලද ඒ සුළු මොහොතේ තම දරුවා ගැන සිතින් නොහඬා සිටින්නේ කෙසේද? 


මව ළඟ නැති දරුවාගේ පවා මානසිකත්වය කෙසේ විය හැකිද? තම මව වෙනත් රටක දරුවෙකු නළවන බව දන්නා දරුවාට දැනෙන වේදනාව කවුරුන් ගණන් බලයි ද?


කාන්තාව නැතහොත් මව විදෙස්ගත වීම හේතුවෙන් සිදුවන පවුල් සංස්ථාව බිඳවැටීම, දරුවන් කායික,මානසික අපයෝජනයන්ට ලක්වීම, දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වීම මෙන්ම දරුවන්ගේ මානසික ආතතිය වැනි දෑ ගැන පුරසාරම් දොඩන බොහෝ සංවිධාන, සියල්ල සිතින් විඳදරාගෙන ඇයට එසේ විදේශයක බැලමෙහෙවර කිරීමට සිදුවූ හේතුවට පිළිතුරු සෙව්වා ?


තම දරුවන් හැර ඇය වෙනත් රටකට සතුටින් යනවා ද? තම දරුවාගේ තනිකම, වේදනාව ඇයට හැර වෙන කාට දැනෙයිද? සැමගේ වේදනාවන් හෝ අනුන්ගේ සතුට වෙනුවෙන් එදත්,අදත්, හෙටත් කාන්තාව ම බිල්ලට යනු ඇත.


කාන්තා සංවිධාන, කාන්තා දිනයට රට බයිලා කියනු ඇත. ඩොලර් මිටි තම සාක්කුවේ දා ගන්නට බොහෝ පිරිස් මාන බලනවා ඇත.


නමුදු තම දරුවා මව්රට තුළ දමා වෙනත් රටක දරුවෙකුගේ හැඬීම නවත්වා නැළවීමට වෙර දරනා අපේ කාන්තාව විඳින ඒ පීඩනය, දුක වේදනාව කා හට දැනෙයිද?


ඈ සිනාසෙන බව ලොවට කියනු ඇත. ඇය හොඳින් යැයි ලොවට මුරගානු ඇත. නමුදු ඒ සිනහව ඒ සතුටු කතාව යටින් දිවේනා වේදනාවේ අමිහිරි පීඩාව ඇය හැර කවුරුන් දනිද?


මේ ශාපයෙන් අපේ රටේ මව කවදා මිදෙනු ඇති ද?


මොනිනා රුවන්පතිරණ කිවිදියගේ මේ කවි පංතිය දිගු සමාජ කතිවක් කියා පා ඇත. කවියාගේ කාර්යය ඇය මැනවින් ඉටු කර ඇත.


පිරිමියෙකුට වුව විදෙස්ගත කාන්තාවකගේ ඒ අමිහිරි වේදනාවන් දැනෙනා, චිත්තරූප මැවෙනා ආකාරයට කවි පංතිය නිමවා ඇත.


කවිය කියවන විට තම දරුවා මව් රට තනිකර පැමිණි ආයම්මා කෙනෙකු හිතින් හඬමින්, නොරටක දරුවෙකු නළවන ඒ ශෝකී අවස්ථාව කාහටනම් නොහැඟී තියේවි ද?


එවන් කාන්තාවන්ගේ දුක් සෝ සුසුම් නිම වේවා...!


අපට යැදිය හැක්කේ දෙවියන්ට පමණි. මන්ද මේවාට විසඳුම් ලාංකේය පාලකයාගෙන් බලාපොරොත්තු විය නොහැකි නිසාය.


බලය එක්තැන් කිරීම, සමාජ ජාලා පාලනය කිරීම, පවුල රජ කර වීම වැනි අති බැරෑරුම් කාර්‍ය්යන් ඇති පාලකයාට මෙවන් ප්‍රශ්නවලට විසඳුම් සෙවිය හැකිද?


කන්තා දිනයට පමණක් අප හඬ තලමු. සැබෑ කාන්තා ප්‍රශ්න අමතක කර විදෙස් රටක සහෝදරියක් සිනා සී දමන ඡයාරූපයක් දෙස බලා උන්ට මොන ප්‍රශ්නදැයි කියා සතුටු වෙමු.


සැමදා සැබැ ප්‍රශ්නය යට ගසා සිනාසෙමු.


ජය!


අරවින්ද රත්මල්ගම _____✍️

21/11/20

Comments

Popular posts from this blog

මතක මිය ඇදෙන සඳ

බල්ලෙකුගෙ හදවත

පිරිමි නිරුවත.