මා දුටු ප්‍රංශය...විදෙස් දිවිය..


 මාගේ විදෙස් අත්දැකීම්....

ප්‍රංශය..


මා මුලින්ම විදෙස් ගත වූයේ ගමන් බලපත්‍රයක් පවා නැතිවය. "එහෙම කොහොමද රට යන්නේ?" කියවන ඔබට සිතීම, වරදක් නොවේ.


නමුදු මා මුලින් ම ඉන්දියාවට බෝට්ටුවෙන් ගියෙමි. මසක් හමාරක් නැවතීමට සිතා නීති විරෝධීව ගිය ඒ ගමන මට එරට ම එපා කරවිය. ඒ අපිරිසිදුකම පමණක් නොව මගේ රටේ ඇති ඒ බොහෝ දෑ මට නිතර සිහිවීම එයට බලපෑ ප්‍රධාන හේතුවයි. දින දහයක් හෝ එහි නොසිට මා නැවත මවුබිමට පැමිණියේ ඒනිසාවෙනි.


දෙවනුව මට සිංගප්පූරු වරායේ රැකියාවක් ලැබුණූ අතර මා ගමන් බලපත්‍රය හැදුවේ එම රැකියාවට ය. එදා බෑගයක ඇදුම් ඇසුරුම් කළේ ද අම්මා ඇතුළු ගෙදර උදවියයි. මා ඊටවත් උනන්දුවක් නොදැක්වූයේ රට යාම ඒ තරමට මට එපා වු කාරණාවක් නිසාවෙනි.


සියල්ල ලක ලෑස්ති කර දී මා ඇරලීමට ගුවන්තොටුපලට යාමට ද සූදානම් වූ විට නිවසේ කිසිවෙකුටත් එහි පැමිණීම  තහනම් කර මිතුරන් සමඟ ඒ හිතුවක්කාර පුත්‍රයා කටුනායක බලා ගියේය.


කටුනායක දී මිතුරන් හැරදා යා නොහැකිව හා පෙර රට අත්දැකීමේ අප්‍රසන්නතාවය මත නැවත හැරී ගෙදර පැමිණියේ ය. එදා මට ලක්බිම හැරයාමට නොහැකියාවක් විද, නොදන්න මිනිසුන් මැද තනිවීමට බියක් වීදැයි මා නොදනිමි.


පසුව මට ප්‍රංශය බලා යාමට සිදු විය. විදේශයකට යාම අප්‍රසන්න වූ ම මට නොරටකට ම යාමට සිදුවන්නේ ඇයිදැයි මා නොදනිමි.


මා ප්‍රංශයට ගිය අලුත ප්‍රංශයේ කියු සැනින් "උඹ ප්‍රංශ කීයෙ ද?" කියා මා මිතුරන් විමවූ විට මා අන්ද මන්ද විය. ප්‍රංශයේ සිටි මා ඒ වන විට පැරීසිය කලාප විස්සකට බෙදා ඇති බව නොදැන සිටියේ ය. මන්ද මා ඒ වන විට පැරීසියේ සිට පැය හයක පමණ ගමන් දුර ඇති මුහුදක් අයිනක සිටි නිසා ය. ප්‍රංශය තියා වෙන රටක පා නොතැබු මිතුරන් එසේ ප්‍රශ්න කළේ කෙසේදැයි මා අදටත් නොදනිමි.


කෙසේ හෝ රැකියා විරහිතව සිටි තෙමසක කාලය තුළ මට ප්‍රංශය එපා ම කරවීය. මා සමඟ දමිළ මිත්‍රයන් කිහිප දෙනෙක් සිටි අතර අපට කෑම සැපවුයේ ද දමිළ තරුණියකි.


මා කුඩා කල සිට එකට සිටි මාගේ පණ හා සමාන මිතුරා ඒ වන විට ප්‍රංශයේ පැරිස්වල බොහෝ කල්සිට ජීවත් වුව ද ඔහු මුණ ගැසීමට පැමිණීමට හෝ එකල යාමට නොහැකි වූයේ මාර්ග පිළිබඳ  මා හට අවබෝධක් නැති නිසාම ය. ඔහු ද කාර්‍ය්බහුල විය.


දිනක් කෑම දෙන දමිළ යුවතිය කෑම ගෙන එන විට  මානසික පීඩනය මුදා හැරීමට මෙන් මා සිටියේ කතුරකින් පත්තරයක් කීතු කරමිනි. එදා මා හට පිස්සු හැදි ඇත්දැයි ඈ සිතු බව පසු කලක මා හට පැවසුවා ය. මුහුණු පොත හෝ නොමැති එකල මා හට වේලාව යැවීමට වෙන ක්‍රමයක් ද නොතිබුණි.


ජීවිතයේ පාලුව, හුදකලාව, තනිකමින් මිනිසෙකු පොඩි වී මිරිකි මහා සාගරයක් මැද හවුහරණක් නැතිව මංමුලාවූ නැවියෙකු සේ මා එකල ජීවත් විය.


නිෂ් යනු ඉතාලියේ ඉහළ ම සල්ලිකාරයන් සිටිනා ප්‍රංශයේ මුහුදු බඩ ප්‍රදේශයකි. මා ගෙන්වු අය හරහා ඉතාලියේ නැව් හිමියෙකු හමු වී මා හට ඔහුගේ ආයතනයේ රැකියාවක් ලබා ගැනීමට හැකි වු අතර ඉන්පසු මා හට වසරේ වැඩි කාලක් ඉතාලියේ සේවය කිරීමට සිදු විය.


කෙසේ හෝ මා ප්‍රංශයට පැමිණ මාස ගණනාවක් යන තුරු පැරීසියට නොගිය අතර මාස  හයකුත් පසු වු තැන පැරීසියේ සිටි මා මිතුරාගේ නිවසට පැමිණියේ ය.


මා ඉන්දියා ගමනින් පසු ගෙවූ නීරස ම දිවිය ගෙවුයේ පැරීසියේ ය. මසකට දින විසිහයක් ද ඉරිදා සහිතව වසරකට මසක නිවාඩුවක් ලබන මා එකල ලංකාවට  පැමිණියේ නැත.


ඒ වෙනුවට පැරීසියේ මිත්‍රයා හා සිටියේ ය. ඒ බොහෝ කවි කතන්දරවල පැරීසිය ගැන ලියා ඇති සුන්දර බොරු නිසාය. මා ද ඒ සුන්දර බොරුව දකින තුරු එහි ඇළී ගැලී සිටියේ ය.


සෙන් නදිය ගැන කවි කතා අතිවිශාලය. ගඟක් අසබඩ උපත ලද මා, පසුව වසර ගණනාවක් නිවසින් පිටව දුපත් හැට හතරක් සහිත මාදු ගං කොමලිය අසබඩ වැඩෙමින් එහි බල්ටි ගැසු මට සේන් නදිය නිකම්ම නිකන් දිය පහරක් පමණක් ම විය.


වෙනස නගරය මැදින් ගලා යන නදියට ප්‍රංශ රජය ක්‍රමානුකූලත්වයක් ලබා දී සංචාරක ව්‍යාපාරය ඉහළ දැමීමට එය සංචාරක ආකර්ශනය ඇද බැඳ තබනා ලෙස බාහිරව සරසා තිබීම පමණකි.


කොළඹ මැදින් යන කැළණි ගඟේ දෙපස පැල්පත් ඉවත් කර අපට ද මිට වඩා සුන්දර රටක් ගඟක් ගොඩනැගිය නොහැකි ද?


සෙන් නදිය දෙස බලා සිටින විට "මහ අමුතු මොකක්ද එකක් " දැනෙන බව බොහෝ සාහිත්‍යයකරුවන් ද ප්‍රංශයට ගිය අය ද කියනු මා දැක අසා ඇත.


මටනම් පරාක්‍රම සමුද්‍රය හෝ අනුරපුර ඇති වෙනත් වැවක් දෙස බලා සිටින විට ලැබෙන ඒ අධ්‍යාත්මික සුවය සෙන් නදිය අසල දී ලැබී නැත.


ජනාකීර්ණ සෙන් නදියේ එවන් නිවීමක් ලැබේයැයි මට සිතෙන්නේ ද නැත. මේ සෙන් නදියට ගරහනවා නොව මුලාවේ හිරව, අපේ දේ ගැන අගයක් නොමැති තාරුණ්‍යයට සත්‍යය පවසනවා පමණි.


මා කුඩා කල වත්ත පිටුපස සුවිසල් ලයිට් කණුවක් විය. මා යහලුවන් සමඟ එහි නැග (එසේ නැගීම අන්ත්‍රාවයි බවට බෝර්ඩ් ගසා ඇතත් අපට එය වගක් නොතිබුණි) ක්‍රීඩා කළ අයුරු මතකය.


අහෝ! මට සුප්‍රසිද්ධ අයිපල් කුළුන ඒ ලයිට් කණුව තරම් වටිනාකමක් හෝ ලස්සනක් නොවීය. ඇත්තේ දැවැන්ත යකඩ ගොඩකි. ඇති පලක් නැත.මහලොකු ඵෙතිහාසික ඉපැරණි වටිනාකමක් ද එහි නැත.


නිකම්ම යකඩ ගොඩකට මිනිසුන් මෙසේ පෙම් කරන්නේ ඇයි? ඉතාලියේ පීසා කුළුණ වැනි දෑ හි ඇති කලාත්මක බවක් හෝ පෞරාණික බවක් හෝ නැති මේ යකඩ ගොඩ මුදුනට නැඟ කොන්ක්‍රීට් වනාන්තරයක් බලා මිනිසුන් ලබන සතුට කුමක් ද?


මා කුඩා කල ලයිට් කණුවට නැඟුණ පසු දකිනා අසල වැවත් නෙක් පස හරිත තුරු වියනත් කෙතරම් මනරම් වි ද?


පාලකයා වනාන්තර කපා දැමූව ද රට තුළ තවමත් සුන්දර තැන් කඩොලාන, වැසි වනාන්තර කෙතරම් ද? පැයකින් හමාරකින්  දෑසට ප්‍රිය දෑ දැක ගැනීමට යා හැකි රටකි ලංකාව.


අයිෆල් කුළුණ,සෙන් නදිය,ලා දෙෆොන්ස්,කොන්කොඩ් උද්‍යානය,ෂොම්-සෙලිසේ,වොන්දොම් කුළුණ,ලො සුපතල ලූවර් කෟතුකාගාරය,ගැලරි ලෆායෙන් සුපිරි සාප්පු සංකිර්ණය මෙන්ම ඔපරා ආදිය ද ප්‍රංශ රජය එරටට විදෙස් විනිමය ලබා ගැනීමට සංචාරක ව්‍යාපාරය ඉහළ නැංවිඋමට ක්‍රමානුකූලව පරිපානය කරන බව සැබෑය.


එය සංචාරයට මනරම්ය. යමෙකු ඒවා දැක ගැනීම ජීවිතයට අමතර වටිනාකමක් එක් වන බව සැබෑය.

නමුදු ලංකාවේ අපට පැරිසියේ සතුටින් දිවි ගෙවිය හැකි ද? ඒ කාර්ය බහුලත්වය අපට ඔරොත්තු දෙනවා ද?


පැරීසිය තුළ ප්‍රංශකාරයන් නොමැත. ඒ තරමට සිටිනුයේ විදේශිකයන්ය. කලු ජාතිකයන් පිරි ඉතිරි ඇත. යුගොස්ලෝවියානු,පෙරු,රුමේනියා පමණක් නොව කිසිඳු චාරයක් නැති අරාබියානුවන් ද පිරි ඉතිරිය.


වඩාත් අන්ත දිවියක් ගෙවන පිරිසක් ද එහි සිටි. ඔවුන් පැරීසියෙන් ටිකක් ඈත කැරවැන්වල දිවි ගෙවන අතර ඒ අර කැළණි ගඟ දෙපස ඇති කුඩා නිවාසවල දිවියටත් අන්ත දිවියක් ගෙවන මිනිසුන් ය.


මා ප්‍රංශයට ගිය පසු පළමු හිම වැටුණ දින අමන්දාන්දයට පත් වුණි. ඒ පළමු සීත සෘතු අත්දැකීම නිසාය. නමුදු තුන්සීය හැටපස් දවසේ ම හිරු එළියෙන් නෑවුණු අපි සීත සෘතුවේ උදේ නමය පමණ වන තුරු හිරු නොදැක හවස හතර පමණ වන විට හිරු බැස යන දවස ම අඳුරු මූසල වැහි වළාවක ඇඳුම් කිහිපයක් සමඟ විශාල් ජැකෙට්ටුවක් ද ඇඟලා ජීවිතය ගෙවීම කෙතරම් අසීරු ද?


නිවස ඇතුළත පවා අත් කකුල්වලට මේස් දමා ගනිමින් ගෙවන ජීවිතය කෙතරම් නීරස ද? පැරීසිය උඩින් සුන්දරය කවියට කතාවට හරි ලස්සන ය. ලියන්නා එය තව්තිසාවක් කර ලියනු ඇත.නමුදු පැරිස් දියුණුව යටින් දිව යන ඛේදවාචක කෙතරම් ද ?


මා පැරීසියේ සිනාසෙන මිනිසෙකු දැක නැත. ලංකාවේ අය පවා තම රටේ එකෙකු සමඟ එහි දී කතා කරන්නේ නැති තරම්ය. එක්කෝ ඒ තරමට කාර්‍ය් බහුලය නැත්නම් ප්‍රංශය යනු අමුතුම මොකක් හරි කියා ඔවුන් සිතනනේ ය.


යුරෝ ලැබෙනවා ය. නමුදු එය රේස් එකකි. හෙමින් ගිය එකා වැටෙනවාය. කොටින්ම ප්‍රංශය, ලක්මව තුළ ඇවිදපු නැති රටතොට ගැන නොදන්නා අයට සුරපුරක් විය හැක.


නමුදු මට එසේ නොවේ.


මට නොව බොහෝ අයට එසේමය. නමුදු තම මිතුරන්ට නෑයන්ට පෙන්නට අනේ අපි මෙහෙමයි කියා රැවටීමට, තම පුහු අටෝපය පෙන්වීමට එසේ සර්ව පිත්තලව දිවි ගෙවනවාදැයි මා නොදනිමි.


"එහෙනම් ප්‍රංශයේ ඔය හැමෝම ඉන්නෙ. මෙහේ ආවනම් ඉවරයිනේ." ඔබේ ඊළඟ් පැනය බව මම දනිමි.


ඔව්. මා දන්නා බොහෝ දෙනෙක් එසේ ඒමට කැමතිය. නමුදු එසේ පැමිණිය නොහැකි හේතු බොහොමයකි. බොහෝ අය ණය උගුලක හිර විය. නැත්නම් මෙහි නිවසක් ගෙන අවුරුදු තිහ හතළිහ ණය ගෙවනවා විය හැකිය.


අනෙක ප්‍රංශය තුළ මුදල් උපයනවා සේම වියදම් කළ යුතුය. අය බදු ගෙවිය යුතුමය. ඉතිං කා බී සැපේ සිටිය හැකි ඉතිරිය අවමය.


අනෙක් කාරණය මේ දිවියට හුරු වි පසුව ලංකාවේ ජීවත් වීමට නොහැකි වීමය. රැකියාවක් නැත. ආදයම් මාර්ගයක් නැත.


අනෙක ලංකාවේ ගොං බූරු ආකල්පය. මෙහිදී හෝටලයක,රෙස්ටුරන්ට් එකක සේවය කිරීමට කිසිඳු මදි කමක් නැත. ලංකාවේ ටයිපටිය්, සාරිය නැත්නම් ඒ රස්සාව හොඳ නැත. උස් පහත් භේදයක් ඇති කළ ගොං ආකල්ප ‍ය.


බොහෝ අය විදේශයන් සුර පුරයන් ලෙස දෙසා බාන බේගල්  හේතුවෙන් තාරුණ්‍යය අද රට හැර යාම හොඳම විකල්පය ලෙස දකි.


ලාංකේය බූරු පාලකයා නිසි පාලනයකින් තොරව රට හූරාකෑම මත තාරුණ්‍යයට වෙන කිරීමට දෙයක් ද නැත.


ඔව්. හැකිනම් ඔබත් රට හැර යන්න. හැබැයි ඒ යන්නේ සුර පුරකට නොවන බව මතක තබා ගන්න.


ඔබට හම්බ කළ හැක. නමුදු ඔය කියන මානසික සුවය ලැබීමට ඔබ වසර දහයක්වත් මේ රටක ජීවත් විය යුතුය.


මන්ද මා පළමු වසර පහ තුළ විදි වේදනාවන් මට අමතක නැත. දැන් මා වසර බොහෝ ගණනක් යුරෝපයේ රටවල් දෙක තුනක දිවි ගෙවා ඇත. අදටත් ප්‍රංශය, ඉතාලිය මට මව්බිම හා සමය.


ප්‍රංශය මා රැක්කාය. මා බලා ගත්තාය. මා එයට ගරු කරමි. මට නිදහස දුන්නාය. මා ප්‍රංශ මවහට දැඩි ස්නේහය දක්වමි. නමුදු සත්‍යය සත්‍යම වේ.


ලක්මව තුළ වෙසෙන කල ඇති මානසික සුවය සතුට මට වෙනත් රටක  දී ලැබි නැත. යුරෝ පමණක් ලැබි ඇත. ජීවිතය මුදල්නම් අපි යන්ත්‍රනම් සතුට එයනම් ඔව්. රට දිවිය හොඳ ය.


රටට ලෝකෙට පේන්න ඡායාරූප දාන්න හරි සුන්දරය. නමුදු ඒ ෆොටෝවේ සිනාසෙන ලාංකිකයා ඔබ ප්‍රංශයට පය තැබු දා ඔබ හා සිනාසෙන්නේ නැත.


පිරිමියෙකුනම් තතිවය. තත්වය බරපතලය. මන්ද ගැහැනියකට උදව් කිරීමට සත් ගුණවත් අප්පු හාමිලා මෙහි ද වැහි වැහාලා ය.


මාගේ විදෙස් දිවියේ මා දුටු සත්‍යය මෙයයි. ලිපිය දිග නිසා මා දිවි ගෙවු ජර්මනිය,ඉතාලිය ගැන නොලියුවෙමි. මෙම ලිපියට ඔබ දක්වන ප්‍රතිචාර අනුව ඉතාලිය,ජර්මනිය නොව ස්විස් ගැන ද සත්‍ය ලියා පල කරමි.


ඒ වෙනත් රටකට යාමට සිටින තරුණ සිත් බිඳ දැමීමට හෝ එරටවල ජීවතවන අය හෙළා දැකීමට නොව මේ.


සියල්ලන් බොරු ම කියාපාන විට එකෙකු හෝ සත්‍යය ම ලිවිය යුත්තේ තරුණ්‍යය අවබෝධයෙන් එවනත් රටවලට යා යුතු නිසාය. නැතිනම් ඉඩම් ගෙවල් උගස් කොට මෙහි පැමිණ, ජීවිතය එපා කරවා ගන්නේනම් එය අසාධාරණක් වන නිසා ය.


ජය!


අරවින්ද රත්මල්ගම _____✍

22/11/20

Comments

  1. නෙගටිව් වැඩි නැද්ද. මට නම් තේරෙන්නෙ ඔබ දිගටම කියන්නෙ ලන්කාවෙ පරිසරයට තමයි ඔබ හුරු ඒ නිසා වෙන රටක ජීවිතය හරි යන්නෙ නැහැයි කියන එක. වෙන්න පුලුවන්, හැබැයි සාමන්යෙන් කියන්නෙ කෙනෙකුගෙ growth එක වෙන්නෙ comfort zone එකෙන් පිට ඉන්නකොට කියලා (growth happens outside the comfort zone). මම නම් ඕනෙ කෙනෙකුට කියන්නෙ එනවානම් professional qualification එකක් සහ අදාල work experience ඇතුව එන්න හැබැයි අවුරුදු දෙක තුනක් යයි establish වෙන්න කියලයි.

    මට නම් අනවශ්ය බලපෑම් වලින් තොරව මගේ රස්සව කරගෙන යන්න පුලුවන් වීම සහ මගේ talent and skills වලින් කරන්න පුලුවන් රස්සවක් තිබීමම ලොකුම සැපතක්. නමුත් මම ඔබ එක්ක එකඟයි odd jobs කරන්න ඇවිල්ලා නම් හරියන්නෙ නැහැ නිකන් හැල්මෙ දිවීම විතරයි කියලා. (සමා වෙන්න ඔබේ අදස මම හරියට තේරුම් ගෙන නැත්නම්)

    ReplyDelete
    Replies
    1. නෑ...ඔබතුමා නෙමේ ඔය විදියටම මගෙ යාලුවො කිප දෙනෙක් වෙන විදියකට කියල තියනව..
      මචං ලංකාවෙ හිටියනම් මල ගෙවලුයි,මගුලුයි,අරවයි මේවයි හෙන වදයක්නෙ..
      මෙහ අපි නිදහසේ ඉන්නවනෙ කියල..
      හැබැයි ඒ හැමෝම මේ කොරොනා වසංගතය ආවම ලංකාවට දුවන්න බැලුව..

      ඒකයි චෛතසිකය,අපෙ යටි හිත අපි නොදැන උපන් බිමට ආදරය කරනව..
      රැකියාව කෙතරම් උසස් උනත් මොන දේ තිබුනත් අපි අපේ නිදහස සීමාවෙලා නැතිද?

      අවංකවම මෙහෙ ඉන්න ලාංකිකයෙක් තව ලාංකිකයෙක් එක්ක හිනා වෙන්න දෙපාරක් හිතන්නැතිද

      ඒ හැමදේ තුලම අපි භාහිර සමාජයකට භාහිර සංකෘතියකට බලෙත් ඇතුලු වෙලා වගේ හැගෙන්නැතිද..
      අපට..
      බොහොම අගයනව..ඒවගේම ගොඩක් ස්තුතියි අදහස් දැක් වුවාට..

      ඔබේ කතාවේ එකග වන තැන් තියනව මම..🙏

      Delete

Post a Comment

Popular posts from this blog

මතක මිය ඇදෙන සඳ

පිරිමි නිරුවත.

බල්ලෙකුගෙ හදවත