සුවසැරිය,මුහුණු පොත හා මාධ්‍ය මර්ධනය.


 සුවසැරිය, මුහුණු පොත හා මාධ්‍ය මර්ධනය.

===================================


මුහුණු පොත යනු අද ඕපාදූප, බොරු, මඩ ආදි දෑ ප්‍රචාරය වන කිසිඳු හරයක් නැති භාවිතයක් මෙන්ම ඉන් රටේ ප්‍රශ්න විසඳිය නොහැකි බව ද රටේ ඉහළ පෙළ නායකයින් මෙන්ම උගතුන්,බුද්ධිමතුන් ද මුහුණු පොතේ ම සමහර පුද්ගලයෝ ද වරින් වර පවසනු මා දැක ඇත.


නමුදු ලෝකයේ කෙසේ වෙතත් ලංකාවේනම් මුහුණු පොතින් සිදුකළ හැකි දෑ බොහෝ වන අතර එය ආණ්ඩු සෑදීමට මෙන්ම පෙරළීමට තරම් වරෙක ප්‍රභල වේ.


එයට හොඳ ම සාධක ලෙස රටේ සියළු පක්ෂ මුදල් වියදම් කරමින් මෙහි  බලය තමා අතට ගැනීමට තැත් දැරීම සහ ලියන අය හට මුදල් ගෙවා තම කණ්ඩාමට එකතු කර ගැනීම ද දැකිය හැක.


ඒවා පිළිනොගන්නා අයට දිය හැකි හොඳ ම උදාහරණය රටේ අවසන් නායකයන් දෙදෙනා ම මුහුණු පොත හරහා පළ කළ අදහස්ය.


වරෙක මෛත්‍රීපාල සිරිසේන මහතා තමා බලයට ගෙන ඒමට සහයෝගය දැක්වා මුහුණු පොතේ තරුණ කණ්ඩායම් ප්‍රසිද්ධියේම ඇගයීය., 


පසුව එම කණ්ඩායම්ම එතුමාව හාස්‍යයට ගෙන පහර පිට පහර ගැසූව ද එතුමන් මුහුණු පොතට පුර්ණ නිදහස දුන්නේ තමා බලයට ගෙන ඒමට මුහුණු පොත දුන් සහයට කෘතගුණ සැලකීමක් ලෙසදැයි අප නොදනිමු.


ගෝඨාභය රාජපක්ෂ මැතිඳුන් බලයට පත්වූ පසුව අවසන්වරට ජාතිය ඇමතීමේ දී මුහුණ පොත ගැන කියු අදහස් ආන්දෝලනාත්මක විය. එය අනියම් තර්ජනයක් හැටියට සැලකූ පිරිස් ද සිටියහ.


තමා මුහුණු පොතට බිය නොවන බවක් එම ප්‍රකාශ වල ගැබ්ව තිබු අතර රාජ්‍යය නායකයෙකු එසේ පැවසිම කෙතරම් සාධාරන හෝ යුක්ති සහගතදැයි නැවත විමසා බැලිය යුතු නොවෙද?


කිසිදා නොවු විරූ ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා ප්‍රසිද්ධ මාධ්‍යය තුළ මුහුණුපොත ගැන විවිධ අදහස් පළ කළ අතර විටෙක මුහුණු පොත තුළ පලවන මතභේදාත්මක ලිපි, ඡායාරූප, උපුටනයන් පළකිරීම පමණක් නොව එවැනි දෑ බෙදා පළ කිරීම ද දඩුවම් ලැබිය හැකි යැයි පැවසුහ.


යම් යම් පුද්ගලයන් යම් ප්‍රවෘත්ති (පුවතේ වැරදි නිවැරදි බව මා සාකච්ඡා නොකරමි.) පළ කළ නිසා අත්අඩංගුවට ගත් අතර උසාවියට ඉදිරිපක් කළ බව ද අප දුටුවෙමු.


රටේ පිළිගත් මාධ්‍යයක් නොවන මුහුණු පොතේ තරුණ කොලු ගැටයන්ගේ පුවත්වලට රජය බිය වී ද නැතිනම් රජයට අකමැති දෑ තොපි නොදැමිය යුතු යැයි අනිසි බිය ගැන්වීමක් ද එසේත් නැතිනම් ඒ නිල නොලත් මාධ්‍ය වාරණයක් දැයි නොදනිමු.


හදිසි නීතිය නැති රටක එසේ කුමන හෝ මාධ්‍යයකට වාරණ පැනවිය හැකි ද?


මා දුටුවේ බොරු පුවත් නොව ආන්දෝලනාත්මක පුවත් පළ කිරීම වැරදි සහගත බවයි. මා තෙරුම් ගත්තේ සත්‍යය වුවත් ආන්දෝලනාත්මකනම් උඹලට මුහුණු පොතේවත් පුවත් පළකළ නොහැකි බවකි.


කරුණු එසේ වුවද ඒ පිළිබඳ කිසිවෙකු වෙතින් හාවක් හූවක් නොමැති වු අතර අලුත් ම කතන්දරය සුව සැරිය හරහා එළියට පැන්නේ ය.


සුවසැරිය ආරම්භ වන්නේ 2016 ජුලි මසයේ දී ය. ආරම්භයේ දී ම එයට ආ විවේචන බොහෝ විය. රටට අහිතකර දෑ කළ විට විවේචනය කළ ද හොඳ දෑ කළ විට අගය කළ යුතුමය.


නිතර විවේචනයට ලක්වන රනිල් වික්‍රමසිංහ, හර්ෂ ද සිල්වා ප්‍රධානත්වයෙන් මෙය ආරම්භ කළ අතර එකල මෙය ඉන්දියාවට රටේ සෞඛ්‍යය විකිණීමක් ලෙස ද එවකට විපක්ෂය චෝදනා කළෝ ය.හොඳට නරකට දෙකට උඩු බුරන විමල්ලා හයිවේ එකටත් උඩුබිරුවේනම් සුවසැරිය ගැන කුමන කතා ද?


අදටත් යම් යම් කතාබහට ලක්ව ඇති සුව සැරිය රටට මහත් සම්පතක් බව මාගේ හැඟීමයි.


මෙය පැමිණීමට පෙර හදිසි රෝගියෙකු රෝහලට ගෙන යාමට ගම්දනව් පමණක් නොව සමහර නගරවල අය ද ත්‍රීරෝද රිය භාවිතා කළ අතර එය රෝගියාට අවධානම් සහගත වු අතර දුප්පත් පවුල්වලට ආර්ථිකමය ගැටළුවලට ද මුහුණ පාන්නට සිදු විය.


නමුදු එදා චෝදනා පිට ඇරඹී සුවසැරිය 1990 අංකය ඇමතූ සැනින් නොමිලේ රෝගියා රෝහල් ගත කිරීමට ගිලන් රථය නිවසට ම පැමිණෙන අතර පැමිණීමට ගත වන සාමාන්‍යය කාලය විනාඩ් 12 තත්පර 59 ලෙස ගණන් බලා ඇත.


එය ලංකාව වැනි රටක ඉතා හොඳ කාර්‍ය්ක්ෂම සේවයකි. අද වන විට රෝගීන් ලක්ෂයකට ආසන්න 93000 ට අධික ප්‍රමාණයක් මෙම සේවය මඟින් රෝහල් ගත කර ඇති අතර ගිලන් රථ තුළ දරු උපත් 34 පමණ ද සිදුව ඇත.


එයින්ම මෙම සේවාවේ ඇති වැදගත්කම ඔබට වැටෙහෙනු ඇති අතර එහි සේවය කරන සේවක මණ්ඩලයේ කාර්‍ය්ක්ෂමතාවය, දැනුම, දක්ෂතාවය ද වැටහෙනු ඇත.


අද රට covid 19 නැතිනම් නව කොරෝනා ආසාධිතයින් සීග්‍රයෙන් වැඩිවන අතර එවන් අවස්ථාවක මෙම සුව සැරියේ අගය තව තවත් ඉහළ අගයක් ගනී.


එසේම එහි සේවය කරන සේවක සේවිකාවන්ගේ අගය ද ඉහළ යනවා සේම ඔවුගේ ජීවිත අවධානමක් නැතිනම් මෙම කොරෝනා රෝගයට ගොදුරුවීමේ දැඩි අවදානමක් ද ඇති බව අමුතුවෙන් කිව යුතු නැත.


නමුදු 2016 වර්ෂයේ දී චෝදනා, විවේචන මත ආරම්භ කළ මෙම සුව සැරියේ සේවකයන්ගේ අද තත්වය කුමක් ද?


ඔවුන්ට රෝගීන් රැගෙන යාමේදී නිසි සෞඛ්‍ය ආරක්ෂිත ඇඳුම් නොමැති බව පසුගිය දා ප්‍රසිද්ධ මාධ්‍යයේ ප්‍රකාශ කළේ ය.


එහි ප්‍රතිඵලය විය යුත්තේ ප්‍රශ්නය සොයා බලා නිසි පිළිතුරු දීම ය. නමුදු සිදු වුයේ කුමක්ද? එම මාධ්‍ය ප්‍රකාශයට පසු දින එහි ප්‍රධාන නිලධාරීන් කිහිප දෙනාගේ රැකියා අත්හිටවා තිබිමය.😂


වඩාත් සිනා උපදවන කරුණ එය නොව රැකියාව අත්හිටුවීමට හේතුව ලෙස ප්‍රධාන මාධ්‍යයකට කරුණු හෙළි කිරීම සඳහන් කළ බව එහි නිලධාරී සහෝදරියක් පසුගියදා ප්‍රධාන මාධ්‍යයක පුවත් මගින් කියා සිටියේය.


එහි සත්‍යය බව අප නොදනිමු. නමුදු එදින ම අජිත් රෝහණ මහතා කීවේ එවන් ප්‍රශ්නයක් ඇත්නම් සියළු දෙනා රැස්වන කමිටුවක් ඇති බවත් එහිදී  එය කිව යුතුව තිබු බවත් ය.


එසේනම් එහි සත්‍යයක් තිබිය යුතුය.ඒ කතා අප නොදනිමු. ඒවා අපට අදාල ද නැත. නමුදු තමාගේ ප්‍රශ්නයක් තම සේවක සේවිකාවන්ගේ ගැටළුවක් රටට කීමට අයිතියක් නොමැති ද? එසේ ප්‍රකාශ කිරීම රැකියා අත්හිටුවීමට තරම් වරදක් ද?


අදවන විට බස්නාහිර හා දකුණු පළාතේ ගිලන් රථ 88 ක්, උතුරු පළාතේ 20, ඌවේ 26 ක් ක්‍රියාත්මක වේ. දිවයින පුරා මෙය ඉදිරියේ දී ක්‍රියාත්මක කළ යුතුය. එයට සැලසුම් ඇත්දැයි අප නොදනිමු.


නමුදු මේ තිබෙනා ප්‍රමාණයට එහි සේවකයන්ට අවැසි මූලික පහසුකම් ටික දීමට රටක රජයකට නොහැකිනම් එය කෙතරම් කණගාටුදායක ද?


පසුගිය දිනවල ජනපතිතුමා යම් යම් ආයතනවලට නොකියා ම ගොස් ප්‍රශ්ණ විසඳුවේ එතන ඉදන්ම ගැටළුවට මුහුණ දුන් පුද්ගලයන්ට දුරකතන ඇමතුම් ද ලබා දෙමිනි.


ගරු ජනපතිතුමනි, අදාල බලධරයිනි, අද එම ප්‍රශ්නවලට වඩා බැරෑරුම් වනුයේ මේ කොරෝනා රෝගය ව්‍යාප්ත ව ඇති නිසාය.


හදිසියේ හෝ මෙම සේවකයන් සේවය කළ නොහැකි බව පවසා සිටිය හොත් රටේ බොහෝ අයගේ ජීවිත අනතුරේය. එසේ කළ හොත් එම සේවක සේවිකාවන්ට බැණ වැදීම නොව එසේ වීමට පෙර නිසි ක්‍රියාමාර්ග ගත යුතුය.


එසේම මේ ගැටළු කතා කරන අය හට අනියමින් බලපෑම් කිරීම අප දකිනුයේ ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක් ලෙසය. කතා කිරීමේ නිදහස රටේ නැතිනම් එය ප්‍රධාන නීතියවන ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවට ද පටහැනි වනු ඇත.


අනියම් මාධ්‍යය මර්ධනයක් ද මේ යටින් දිව යන්නේදැයි අප නොදනිමු.  පුවත් පළ කරනා උන් උසාවි දමනවානම් රැකියාවේ ගැන කතා කරන උන්ගේ රැකියා අහිමි කරනවානම් එවන් රටක මාධ්‍ය නිදහස ගමන් කරන්නේ කොතනට ද යන ගැටළුව ද පැනනැඟී ඇති බවත් ඒ ගැන ජනතාව විමසිලිමත්ව ලබන මැතිවරණය තෙක් බලා සිටිනු ඇති බවත් පාලකයන් දැන ගත යුතුය.


ජය!


අරවින්ද රත්මල්ගම_____✍

28/11/20

Comments

  1. ඔබ මෙහි ඇඳ පෙන්වන චිත්‍රය අප්‍රසන්න වුවද සත්‍යයකි. මෙම තත්ත්වයට මූලික හේතු ලෙස ගතයුත්තේ අපගේ ජානවලට එකතුව ඇති ඕනෑම දෙයක් දිහා බියෙන් හා සැකයෙන් බැලීමේ පුරුද්ද, තම එකඟ නොවන අන්‍ය මත ඉවසීමට ඇති නුපුරුදුබව හා ගෞරවය හිමිවිය යුතු තැන තීරණය කිරීමට දේශපාලන පක්ෂපාතිත්වය භාවිත කිරීම බව මගේ හැඟීමයි.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

මතක මිය ඇදෙන සඳ

පිරිමි නිරුවත.

බල්ලෙකුගෙ හදවත