කලු අගහරුවාදා


 ඒ සහෘදයා සමුගත් කලු අඟහරුවාදා.....


එකල විවිධ වු පෞද්ගලික ගුවන්විදුලි නාලිකා නොමැති යුගය යි. බොහෝ නිවෙස්වල ශ්‍රී ලංකා ගුවන්විදුලිය අසන අවධියයි.


එහෙත් රාත්‍රියේ මූසල නිහඬ බව හැර රේඩියෝ තබා විදුලි එළිය පවා රතු සහෝදර තුන්ඩුවෙන් නොදැල්වෙන යුගය යි.


එදින හිරු සැඬ වු දිවා කළ උදා වී තිමබුණි. රට තොට භිතිය, සැකය,රජයන අසුභ පුවත් නිතර ඇසෙන යුගයයි.බොහෝ නිවැස් වල කැබිනෙට්ටු උඩ පරණ රේඩියෝවක් තබා හො ආරංචි දැනගැනිමට උත්සුක පිරිසයි. නිතර නිතර විශේෂ පුවත් සුලබ කලකි ඒ.


නිවස් පූරා රැව්දුන්නේ සුපුරුදු ගුවන්විදුලි සංස්ථා වෙළඳ සේවයේ තම්මැට්ටම් හඬයි.


මෙන්න විශේෂ ප්‍රවෘත්තියක්...කියු සැනින් කඩපිලේ නිවසේ අය රේඩියෝව වටා රොක් වන්නෙ කුමකින් කුමක් සිදුව ඇත්දැයි දැන ගැනිමේ කුහුලෙනි.අපරාධ මිනිමැරුම් පැහැරගැනිම් සාමාන්‍යය කරනය වි තිබුනද එදින ලක්මාතාව දෙදරා යන ශෝකි රාවයක් ගුවන් විදුලියෙන් ප්‍රචාරනය විය.


ඒ වෙනකක් නොව රටේ බහුතර පිරිසකගේ හදවතේ ලැගුම් ගත් ඒ සිහින කුමරා ජනනායකයා කලාකරුවා වු විජය නම් සුවිශේෂි සහෘදයාගේ ඝාතනයයි.රටම එකවර මොහොතකට නිහඩ විය.කිසිවෙකුගෙ මුවින් වදනක් පිට නොවුනි,පහර ලද නිදිකුම්බා පත්‍ර සේ ජන හදවත් මොහොතින් හැකිලි ගියහ.


1945 ඔක්තොබර් 09 වැනි දින කෝවිලගේ බෙන්ජමින් කුමාරණතුංග සහ බ්‍රියට්‍රිස් කුමාරණතුංගට දාව රාගම රොහලේ දී කෝවිලගේ ඇන්ටන් විජය කුමාරණතුංග නම් කුල දරුවෙක් උපත ලැබීය.


පවුලේ දරුවන් සිව් දෙනෙක් වුව මේ දරු උපත තම පවුලට කීර්තියත්, රට ම හඳුනන ජන නායකයෙකුත් වනු ඇතැයි කිසිදා මෙම මා පිය යුවළ සිතුවේනම් නැත.


නමුදු යමෙකුගෙ දෛවය කෙසේ වෙනස් කරම් ද? දරුවන් විවිධ මානයන් ඔස්සේ තම අනාගතය, ජීවන මඟ තෝරා ගත්ත ද මේ කඩවසම් තරුණයා සිනමාව තෝරා ගත්තේ ය.


බොහෝ සුප්‍රසිද්ධ චරිත තම මුල් නාමය වෙනස් කර ගනිති. එය සාමන්‍ය කාරණාවකි. ඇන්තනි විජය කුමාරණතුංග, විජය කුමාරතුංග ලෙස ද සුප්‍රසිද්ධ වුයේ එසේය.


එකල පගාවට, ජරාවට හිතවත්කමට හො සුරූපි බවට ම නලු නිලියන් බිහි නොවන යුගයකි. විජය ද පුවත් පත් දැන්වීමකට අනුව සම්මුඛ පරීක්ෂණයකට මුහුණ දුන් අතර ඉන් "මනමාලයෝ"චිත්‍රපටයේ සමුහ දර්ශනයට සහභාගි වන්න අවස්ථාව උදාකර ගනිමින් සිනමා ක්ෂේත්‍රයට පා තැබීය.


පසුව සුගතපාල සෙනරත් යාපාගේ "හන්තානේ කතාවෙන්" චිත්‍රපට දිවියේ මහ පවුරට මුල්ගල තැබීය. සුගපාල සෙනරත් යාපා විටෙක මේ තරුණයාගේ අනාගතය දකින්නට ද ඇත. නොදකින්නට ද ඇත.නමුදු ඔහු ආ දුර මෙතෙක් සිනමාවේ කිසිවෙකු ද පැමිණ ඇත් ද? සිනමා සක්විති යැයි හඳුන්වන ගාමිණි පවා පරයා යන තරමට විජය පෙළහර පෑ බව පැවසීම අතිශෝක්තියක් ද නොවේ.


"ගෝඩ් කින්ග්" නම් ඉංග්‍රිසි චිත්‍රපටයේ ද "නැංගුරම්" නම් දෙමල චිත්‍රපටයේ ද දස්කම් පෑ විජයට දේශපාලන දිවියේ එසේ දස්කම් පෑමට ඉඩ ලබා දුන්නේ නැත.


ඔහු නලුවෙක් පමණක් ද? නැත. ඒ ගාම්භීර කටහඬ හිරිමල් යෞවනයන් පවා අමන්දානන්දයට පත් කළේය. ගීත සියයක ට වැඩි ප්‍රමාණයක් ගායනා කළ මේ කලාකරුවා කැසට් පට දහයක් පමණ නිකුත් කර ඇත.


විශේෂත්වය මේ කිසිදු ගායනයකින් එකදු සතයක් හෝ මොහු ලබා නොගැනීමය. කලාකරුවෙකු ජනතා සේවකයෙකුගේ කාර්‍ය්යට ඔහු තම නිසඟ හැකියාව එසේ පුද කළේය.


හන්තානේ කතාවෙන් පටන් ගෙන චිත්‍රපට එකසිය දහ හතරක පමණ ප්‍රධාන චරිතය ම රඟ පෑ විජය දිනූ සම්මාන සුවිශාල ප්‍රමානයකි. 1983 සිට 1988 දක්වා නොකඩවා සම්මාන ලබා මෙතෙක් නොකැඩුණු සිනමාවේ වාර්ථාවක් ද පිහිට වු ඒ සුවිශේෂී කලාකරුවා ගායනයෙන් සරසවි හොඳම පසුබිම් ගායනය සම්මානය ලබා තිබී මෙන්ම ඔහුගේ දක්ෂතාවය පිළිබිඹ් නොවේ ද?


සිනමාවේ ප්‍රේමවන්තයා හට රටේ ම තරුණියන් පෙම් කළ ද විජයගේ හිත, සිනමාවේ සුරූපිනියක් වෙත ඇදී ගියේය. විජය මාලනි පෙම් පුවත ලැව් ගින්නක් සේ පැතිර ගියේය. තව බොහෝ නිලියන් ද ඔහුට පෙම් කළ ද විජයගේ දෛවය වෙනත් මඟකට හරවා තිබුණි.


සිනමාව නොව ජනතා සේවය තම පරම යුතුකම සේ සිතූ විජය දේශපාලනයට අවතීර්ණ වූයේ නිසැඟයෙනි. සමසමාජයෙන් දේශපාලනයට පිවිසි විජය1977 කටාන ආසනයෙන් තරග වැදුනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙනි.


පසුව තම දේශපාලන ගමන් මඟ තව තවත් ශක්තිමත් වීමටදෝ තමා පසු පස එන සියලු ප්‍රේමයන් පසෙක ලා දේශපාලන කරලියේ හිනිපෙතට පා නැගු එස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරනායකයන්ගේ සහ ලොව ප්‍රථම අගමැතිනිය වන සිරිමාවෝ මැතිනියගේ දියණිය වු චන්ද්‍රිකා මැතිනිය තම සහකාරිය කර ගත්තේ ය.


1982 හෙක්ටර් කොබ්බැකඩුවට සහය වැද නැස්කලයිට් චෝදනා මත හිරබත් කෑමට පවා පවා සිදු වු අතර ඉන් විජයගේ දේශපාලන ගමන් මඟ තව තවත් ශක්තිමත් වු අතර විජය ද තව තවත් දේශපාලනයේ පරිනතයෙකු වූවේ ය.


1982 නොවැම්බර් 19 වන දින සිරගත වු විජය 1983 ජනවාරි 18 නිදහස ලැබු අතර එම වසරේ ම මහර අතුරු මැතිවරයට මුහුණ දෙන්නේ හිරගත කොට තම දේශපාලන ගමන් මඟ නවතාලිය නොහැකි බව ජයවර්ධන ආණ්ඩුවට පෙන්වීමට ද?


ඉන් මනාප 24899 ගන්නා විජය 1984 වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව මහජන එක්සත් පෙරමුණින් මින්නේරිය ආසනයෙන් තරග වැදුණි. ඒ තමාගේ ම පක්ෂයෙන් තරග වැදුණ පළමු අවස්ථාව විය.


රටේ ඕනෑම තැනක විජයට තිබූ පිළිගැනීම කෙතරම් ද යත් එහිදී ද මනාප10568 ලබා ගැනීමෙන් එය පිළිඹුබු නොවේ ද?


යුද්ධය සාමයෙන් විසදීම මැනවැයි සිතූ විජය එයට ක්‍රියාකාරීව දායක විය. එය තම මානව හිතවාදී බව පෙන්වීමැකැයි සිතු විජය, එතෙක් රටේ සුප්‍රසිද්ධ චරිතයක් L.T.T.E සංවිධානය හා මුහුණට මුහුණ ලා කළ පළමු සාකච්ඡාවයි.


L.T.T.E සමාජිකයන් පවා විජයට පෙම් කළ අයුරු එදා යාපනයට ගිය විජයට දැක ගත හැකි විය. රටේ ඇති වාතාවරණය මත ම විජය, එසේ යාපනය ගිය ගමනත් එහිදි කොටි සමාජිකයන් හා එක්ව කල ආයුධ පුහුණුවක් ගැනත් යම් යම් කටකතා පැතිර නොගියාද නොවේ.


කෙසේ වෙතත් මේ මානව හිතවාදියා හුදු ජනයාගේ යහපත පැතීයැයි සිතිමට කරුණු කාරනා බොහෝය.L.T.T.E ය පමනක් නොව PLOT සහ EPRLF සමග පවා හිතවත් කම් පැවැත් වු විජය එකල රටේ පැවති සන්නද්ධ අරගලයෙදි තම සමාජිකයන් රැක ගැනිමට යැයි සිතා හො ඔවුන් ලවා ආයුධ පුහුණුවද ලබා දුන් බවත් විජය ඝාතනයට එයද හේතුවක් බවත් දේශප්‍රේමී ව්‍යාපාරය පසුව හෙලි කල බව සදහන්වේ.


තමා පමණක් රජ කළ යුතුයැයි තුවක්කුව පාලනයේ ප්‍රමුඛයා යැයි සිතූ එකල ජනතා විමුක්ති පෙරමුණ අතින් විජයගේ මරණ වරෙන්තුව නිකුත් කෙරුණේ එවන් වතාවරනයක් යටතේය.


ඝාතනය නොදන්නා තුවක්කුකරුවන්ගේ ගිණුමට බැර වුවද පසුව එය එකල ජනතා විමුක්ති පෙරමුණ කළ බවට හෙළි විය.


"මහත්තයෝ..., දවසක විජය මහත්තයාව මරනවා. ඒකත් මුණ විකෘතිවෙන විදියට වෙඩි වැදිලා.


ඒ දෛවඥයෙකු විසින් විරසිංහ මල්ලවආරච්චිගේ පුතුට කියා තිබු අනා වැකියකි. විජයගේ මරණය සමඟ ඔහුට එය මතකයට නැඟුණ අතර එය සැබෑ වී ඇති බව දැනගත් වහා ඔහුට එය සිතාගැනිමට පවා අසීරු වු අනාවැකියක් බව පසු කලෙක සදහන් කලේය.


"මුන විකෘකි වෙන්න මුනටම වෙඩි තියල මරපන්"


ඒ ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් ඝාතකයාට දුන් තීන්දුව ලෙස කට කතා පැතිරුනත් ඝාතකයා, පිටු එකසිය හතළිස් එකක පමණ දිගු රහස් පොලීසියට දුන් කට උත්තරයේ එසේ සඳහනක් නොමැත. එහි සදහන් වන්නේ..


"මම විජය එනකල් බලන් හිටියා. එයා ආවා. ඇවිත් ගෙට යනකොට පිටට වෙඩි තිබ්බා. වෙඩි වැදීගෙන වැටුණා. පස්සෙ මම එයා ළඟට ගිහින් ඔලුවට ම වෙඩි තිබ්බා."


"ඇයි ළඟට ගියේ...?" අතුරු පැනයකි.


මැරුණ බව තහවුරු කර ගන්න. ළඟට ම ගිහින් ආයේ ඔලුවට ම තිබ්බා. එතකොට බොරු කොණ්ඩය වැටිලා තිබුණා. අතේ තිබුණ ෆයිල් එකත් වැටිලා තිබුණා."


ඒ එහි ඇති ඝාතකයාගේ කට උත්තරයේ කොටසකි.එසේ නිවී සැනසිල්ලේ මරා දැමු වෙඩික්කරුවා තමා පැමිණි හොන්ඩා 200cc වර්ගයේ, 90 ශ්‍රී 4320 අංක දරණ යතුරු පැදියෙන් ම පලා ගියේය.


වෙඩික්කරු ලයනල් රණසිංහ වු අතර යතුරු පැදිය ධාවනය කර වූයේ ටාසන් වීරසිංහ බවත් සැලසුම ජයන්ත නොහොත් ලලිත් විජේරත්න බවත් හෙළි වී තිබුණි.


පසුව දේශප්‍රේමි ව්‍යාපාරය "විජය මැරුවේ ඇයි?" නමින් පත්‍රිකාවක් නිකුත් කොට එහි වගකීම භාරගත්ත ද වත්මනේ එසේ නැත යනුවෙන් ජනතා විමුක්ති පෙරමුණු ක්‍රියාදරයන් පවසනු දුටු අතර සත්‍යාසත්‍යතාවය  දන්නෝ දනිත්.


"ටයරය තුළ දැවෙන සොයුරන්නේ නුඹට

නැත පාවඩ මළ බෙර ද දුකට

දේශය යකුට දී වැනසී ගිය යකුට

කුමට ද වැළපෙන්නෙ නැතිව ද මොළකට්ට"


ලෙස බොරැල්ල ඇක්වයිනාස් විදුහලේ වැසිකිලිය මත මෙසේ කවි පන්තියක් ලියා විජය ඝාතනය ඔවුන් සාධාරණීය කළ බව ද ඉතිහාසය දෙස් දෙවොල් තබත්.


කෙසේ වෙතත් ඝාතන එකල රජය විසින් ද කැරලි කණ්ඩායම් අතින් ද සිදු වු අතර විජයගේ දේශපාලන ක්‍රියාපටිපාටිය තුළ වු යම් යම් ක්‍රියාකාරකම් ද අප අනුමත නොකරන්නෙමු.


දේශපාලනික වශයෙන් රජය,කැරලි කණ්ඩායම්,මෙන්ම විපක්ෂය ද විවිධ අයුරින් ඝාතන කල්ලි හරහා රට සොහොනක් බවට පත් කළ අතර අප කිසිවෙකු නිවැරදි යැයි නොකියමු.


නමුදු රටේ ජන හදවත් තුළ ලැඟුම් ගත් මේ අසහාය නලුවා, කලාකාරුවාගේ ඝාතනය ද කිසිම අයුරකින් සාධාරණය කළ නොහැක.


පැරණි වමෙන් දේශපලෙනයට පිවිස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හරහා මහජන පක්ෂයෙන් දේශපාලන පොරපිටියේ මනරම් රැඟුම් පෑ ආදර විජය, සිනමාවේ ප්‍රේමවන්තයා එසේ අවසන් හුස්ම තම නිවස ඉදිරි පිට හෙලුහ.


දෙන මුහුණු වසා තිබු අතර එතෙක් මෙතෙක් ලාංකේය ඉතිහිසයේ දිගු ම පෝළිමක් සුසැදි ජනකායක් විජයට අවසන් ගෞරව දැක්වීමට පැමිණියහ.


මේ සොදුරු මිනිසාගේ මුහුණ පවා බැලිය නොහැකි ලෙස ඝාතනය වුයේ ඇයි? ජනතාව එක්රොක් වීමට නොහැකි සමයක මෙතරම් ජන ගඟක් ගැලු අයුරු විශ්මිතය.


ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට නලුවෙකු දේශපාලකයෙකු වෙනුවෙන් සියදිවි නසා ගැනීම් වාර්තා විය.


ශෝකය දරාගත නොහැකිව පුද්ගලයෙක් ගිනි තබාගත් බවට ද කටකතා පැතිරුණු අතර තවත් කිහිප දෙනෙකු ම සියදිවි නසාගත් බව ද ප්‍රචාරය විය. ඔහුට හිතවත් ඡායාරූප ශිලපියෙක් ද බීමතින් සිට පසුව මිය ගිය බවට ද පුවත් පළ විය.


ලක් ඉතිහාසයේ ප්‍රථම වරට අවමංගල උත්සවයක් සජීවීව ප්‍රචාරණය විය. විජය හිරගත කළ එක්සත් ජානතා පක්ෂය ම විජයගේ අවමඟුල එසේ සංවිධානය කිරීම දෛවයේ සරදමක් වැනි විය.


1988 පෙබරවාරි 21 දින කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී එය එසේ සිදුවිය. පරිසරය ද මෙම අවමංගල්‍යයට වැළපුණා වැන්න. ඉඳහිට අහසේ පියාඹන කාක්කෙකු හැර නිසල අහස ද හඬා වැටුණේය.


ශෝ දුක් කඳුළු නිවැස්වල රූපවාහිනිය නරඹන රට වැසියන්ගෙන් නෙත් මතින් කඩා හැලුණහ. නිදහස් චතුරශ්‍රයේ සහභාගි වු ජනතාව ගැන කුමන කතා ද...?


එදින නිදහස් චතුරශ්‍රය නොව මුළු රට ම නොදන්නා භියකරු නිහඬතාවයකින් ඇළී ගියේය. චන්ද්‍රිකා මැතිනිය නොදන්නා අමුතු ක්‍රමයකින් අත් ඔසවා විජයගෙ දෙන ඉදිරියේ විජයගේ ගමන් මඟ යන බව දිවුරුම් දුණි.


සකල රට වැසියාගේ හදවත් හකුලා යමින් ඒ සොදුරු මිනිසා දැයෙන් සමුගත්හ.


අත් ඔසවා දිවුරුම් දුන් ගැහැනිය, රටේ නායකත්වයට පත් විය. බලය ඉදිරියේ නිදි වැඳීමට පසුබට නොවන ලාංකේය කාලකණ්ණි දේශපාලනයේ නිරුවත මනාව හෙළි කළ චන්ද්‍රිකා මැතිනිය, පසුව ජනතා විමුක්ති පෙරමුණ තම සාරි පොටේ ගැට ගසා රට කරවීය.


තම සැමියා මරා දැමූවන් සඳහා රට රැවටීමට කොමිසන් සභා පත් කළ ද ඒවා පුස් වෙඩි විය.


ඉන්දු ලංකා ගිවිසුමට සහය දැක්වීම, පළාත් සභා ක්‍රමය වෙනුවෙන් පෙනීසිටීම, ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව Plote සහ EPRLF සංවිධාන සමඟ ඔහුගේ පක්ෂයේ පිරිසකට පුහුණුව ලබා දීම විජයගේ මරණ වරෙන්තුව ලිවීමට හේතු බව කියවුණි ද, පරීක්ෂන නිසියාකාරව සිදු කලාද ජනපති කොමිසන් සභා වාර්තා නිවැරදි ද යන්න ජනතාව අතර කුහුලක් නොතිබුණා ම නොවේ.


තම සැමියාගේ කර මතින් දේශපාලනයෙ හය හතර නොදත් ගැහැනිය, තුන්පිම්ම පැන රටේ ඉහළ ම තනතුර දැරූව ද තම සැමියා මරාදැමූ යැයි කියන උන් සමඟ සංධාන ගතව බලය තහවුරු කර ගැනිම ම අරමුණු වූ බව පෙනි ගිය කල, ජනතාවගේ එම කුහුලේ දෝෂයක් තිබීම අරුමයක් ද නොවේ.


කෙසේ වෙතත් රටේ කලාකරුවන්, දේශපාලකයන්, තරුණ ජීවිත දහස් ගණනින් අහිමි කළ , ඒ වකවානුවේ රට දෙදරුම් කෑ දැවැන්ත ම ඝාතනයක් වුයේ මෙය බව පැහැදිලි කරුණක් වු අතර එය සන්නද්ධ ව්‍යාපාරය කඩා වැටුණු බොහෝ කාරනා අතර ඉහළ අගයක් ගත් කාරණාවක් ද විය.


ජනතාව සන්නද්ධ කැරලිකරුවන්ගෙන් ඉතා වේගයෙන් ඈත්වීමට ද එය හේතු වු අතර ම විජය මරා දැමු ඒ 1988 පෙබරවාරි 16 වැනි අඟහරුවාදා කලු අඟහරුවාදා නැත්නම් භයානක අඟහරුවාදා ලෙස ජනතාව නම් කිරීමට පෙළඹුනේ ද එනිසාවෙනි.


අදටත් විජය ළඟින් ඇසුරු කළ නොකළ ජන හදවත් තුළ ජීවමාන මිනිසා සදා නොමියන ලක් ඉතිහාසයේ ජනප්‍රිය චරිතය ම වේ.


දඟගෙයි දඬුවම් සියුමැලි වැඩිනම්..

අළුගෝසුවනේ එල්ලාපන්..

කටු ඉඹුලේ අප එල්ලාපන්...


විජයගේ ඒ ගැඹුරු හඬ අදත් අප හදවත් කම්පනය නොකරන්නේ ද...?


අරවින්ද රත්මල්ගම _____✍️

16/02/21

Comments

Popular posts from this blog

මතක මිය ඇදෙන සඳ

පිරිමි නිරුවත.

බල්ලෙකුගෙ හදවත